Tuesday, February 11, 2020

මුහම්මද් නබිතුමාගේ ලිංගික ජීවිතය

ඉස්ලාම් ධර්මය දෙවියන් විසින් පහළ කිරීමට යොදාගත් දූතයා වූයේ මුහම්මද් නබිතුමන් ය. එතුම්න් දෙවියන් විසින් මීට පෙර තෝරාගත් අන් කිසිම දූතයකු පෙන්නුම් නොකළ තරම් අපූර්ව වූ චරිත ලක්සණ පෙන්නුම් කළේ ය. මේ සුවිශේෂී චරිත ලක්ෂණ නිසා ම එතුමා ලොව වැඩිපුර ම කථාබහට ලක්වන අයකු බවට පත් වී තිබේ. නිදසුන් ලෙස ශක්තිමත්, පෞරුෂයවත් පිරිමියකු වශයෙන් එතුමාගේ ලිංගික ජීවිතය අති සුවිශේෂී එකක් විය. වෙනත් කිසිදු ශාස්තෲවරයකුගෙන් (ජේසු, බුදුන්, මහාවීර, බහාඋල්ලා,) මෙබදු ලිංගික ජීවිතයක් නම් දැකගත නොහැක. අපේ මුස්ලිම් සහෝදරවරු ඉස්ලාමය ගැන මොන දේ කියාදුන්නත් මෙවැනි රසවත් දේවල් කියාදීමට මැළිවන නිසා ම ඒ ගැන ලිපියක් ලිවීමට අපි අදහස් කළෙමු.

එතුමන් සතු ව සල්ලාල පැවතුම් තිබුණා ද?

සායිද් ඉබ්න් හරීතා යනු වහල් බවින් නිහස් වූ පසු මුහම්මද්තුමා විසින් සිය දරුකමෙහි තබාගත් අයෙකි. ඔහු විවාහ වූයේ සයිනාබ් බින්ත් ජාෂ් සමග ය. දිනක් එතුමා සායිද් ව බැලීමට ගිය විටක ඇය ව දකී. අල් වකිදි වෙතින් තබාරි මේ සිද්ධිය පහත පරිදි උපුටා දක්වයි.
දිනක් මුහම්මද් සායිද් මුණගැසෙන්නට ගියේ ය. දොරකඩ වේලයකින් ආවරණය කර තිබිණි. නමුත් එය සුළගට එසවී ගොස් ඇතුළත නිරාවරණය විය. සයිනාබ් සිය කුටිය තුළ නිරුවතින් සිටි අතර නබිතුමාගේ සිතට ඈ ගැන ආසාවක් ඇතිවිය. අනතුරුව අල්ලාහ් ඇයව සායිද්ට අරුචි කළ අතර ඔහු ඇයව දික්කසාද කළේ ය. (124 Tabari VIII:3 ^ Tabari VIII:4 )
මේ ගැන දැනුවත් වන සෙයිද්, මුහම්මද්ට විවාහ කරගැනීම පිණිස තමන් ඇය ව දික්කසාද කරන බව මුහම්මද්ට දැනුම් දෙයි. (මෙහි අනතුරුව අල්ලාහ් ඇයව සායිද්ට අරුචි කළේ යැයි පැවසෙන්නේ මෙය යි.) එවිට "ඔබගේ භාර්යාව ඔබ වෙත ම තබාගනු. අල්ලාහ්ට බිය වනු" යැයි නබිතුමා පවසයි.

පූර්ව ඉස්ලාමීය අරාබිවරු දරුකමට ගත් දරුවන් ද තමන්ගේ ම දරුවන් ලෙස සැලකූ අතර ඔවුහු ද ලෙයින් උපදින දරුවකු හා සමාන හිමිකම් නීතිමය වශයෙන් දැරූහ. මේ නිසා ම තමන්ගේ හදාගත් දරුවකුගේ හෝ බිරියක් ඇය දික්කසාද වූ පසුවවත් තමන් විසින් විවාහ කරගැනීම ව්‍යභිචාරී ක්‍රියාවක් ලෙස ඔවුහු සැලකූහ. (Sell, E. ,1905, The Histoical Development of the Quran, London: Society for Promoting Christian Knowledge. pp. 149–50) නබිතුමන් සෙයිද්ට ඔබේ භාර්යාව ඔබ වෙත ම තබාගනු යැයි පැවසුවේ ඒ නිසා විය හැකි ය. නමුත් එතුමන් සිටි අසහනය තේරුම් ගත් නිසාදෝ අල්ලාහ් වැකියක් පහළ කරමින් එතුමන්ගේ දොළදුක ඉෂ්ට කර දෙයි.
අල්ලාහ් කවුරුන් හට දයාව පහළ කර, ඔබත් ඇය කෙරෙහි කරුණාව, දයාව දක්වමින් වට කරගෙන සිටියෙහිද, ඇය වෙත ඔබ අල්ලාහ්ට බිය වී (සයිනබ් වන) ඔබගේ භාර්යාව (විවාහ බන්ධනයෙන් පහ නොකර) ඔබ වෙතම නවතා තබා ගනු. යයි පැවසූ අවස්ථාවේදී අල්ලාහ් එළිදරව් කිරීමට තිබූ දැය, මිනිසුන්ට බිය වී ඔබ, ඔබගේ මනසෙහි සගවා තැබුවෙහිය. ඔබ බියවීමට ඉතාමත් සුදුස්සා අල්ලාහ්ය. (මිනිසුන් නොව). සෙයිද් (නමැත්තාගේ සිත වෙනස් වී තම බිරිද වන) ඇයව තලක් පැවසීමෙන් පසු, අපි ඇයව ඔබට විවාහ කර තැබුවෙමු. මන්දයත් විශ්වාසවන්තයින් විසින් (දරුකමට ගෙන) හදා වඩා ගනු ලැබූ අය, තමන්ගේ භාර්යාවන්ව තලාක් පැවසුවහොත්, (ඔවුන්ව හදාවඩාගත්) විශ්වාසවන්තයින්ට එම කාන්තාවන්ව විවාහ කරගැනීමේදී කිසිම බාධාවක් ඇති නොවිය යුතුය යන්න සදහාම (මෙය) අනිවාර්යයෙන්ම සිදු විය යුතුය යන අල්ලාහ්ගේ නියෝගයක් වශයෙන් තිබුණි.

- කුරානය 33: 37
හදාවඩා ගත් දරුවන්ගේ දික්කසාද කළ භාර්යාවන් විවාහ කරගත හැකි බව පෙන්වා දීම සදහා දෙවියන්වහන්සේ, හරියට ම නබිතුමා තම හදාගත් දරුවාගේ බිරියගේ නිරුවත දුටු මොහොත ම තෝරා ගැනීම අපූරු අහම්බයකි.
අල්ලාහ් නබි කෙරෙහි නියම කළ කුමන නියෝගයක් වුවද, ඉටු කිරීමෙහි ඔහු කෙරෙහි කිසිම වරදක් නැත. මෙයට පෙර සිටි (අය වන නබිවරුන්)ට අල්ලාහ් ඇති කළ මාර්ගයද මෙයයි. අල්ලාහ්ගේ නියෝගයන් කළින්ම නිර්මාණය කරනු ලැබ ඇත්තේය. ඔවුන් අල්ලාහ්ගේ මෙවැනි නියෝගයන් අනිවාර්යයෙන්ම ගෙනහැර දක්වන්නාහ. ඔහු (එක් කෙනෙකුම) බිය වන්නාහ. අල්ලාහ් හැර, වෙන කිසිවෙකුටත් බිය නොවන්නාහ. (එබැවින් නබියේ, ඔබත් වෙන කිසිකෙුටත් බිය නොවනු. මේ ගැන ඔවුන් වෙතින් ප්‍රශ්න) ගණනය කිරීමට අල්ලාහ් (එක් කෙනෙකුම) ප්‍රමාණවත් කෙනෙකි.

- කුරානය 33: 38-39

ඔබගේ පිරිමින්ගෙන් කිසිවෙකුටත් මුහම්මද් (නබි තුමාණන්) පියා වශයෙන් සිටියේ නැත. නමුත් ඔහු නම් අල්ලාහ්ගේ දූතයා වශයෙන්ද, නබිවරුන්ට අවසන් මුද්‍රාව වශයෙන්ද, සිටින්නේය. අල්ලාහ් සියල්ල හොදින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

- කුරානය 33: 40
මුහම්මද් ඊට වසර කීපයකට පෙර මිරාජ් ගමන ගිය විට තමන් දෙව්ලොව දී සයිනබ් දුටු බවත් ඇය තමන් සායිද්ට අයිති යැයි කී බවත් පැවසුවේ ය. එය ඇසූ සායිද් සයිනබ් හා තමන් අතර විවාහය දේව කැමැත්ත යැයි සිතා ඇය ව විවාහ කරගත්තේ ය. මුහම්මද් ද මේ විවාහයට ආශිර්වාද කළේ ය. නමුත් මුහම්මද් ඇගේ නිරුවත දුටු විට ඔහුගේ සිත වෙනස් විය. ඒ සමග ම දෙවියන්ගේ සිත ද වෙනස් විය. අරාබිවරුන්ගේ සමාජ සම්මතය වරදක් බව කීමෙන් මුහමම්ද්ගේ ලිංගික අවශ්‍යතාව ඉෂ්ට කරගැනීමට ඇති බාධාව ඉවත් කිරීමත්, නබිවරයාට එල්ල විය හැකි අපවාද වැළැක්වීමට තවත් වැකි කීපයක් ම පහළ කිරීමටත් ඔහුට සිත්විය. මෙලෙස දෙවියන් මුහම්මද්ගේ ලිංගික ආශාව ඉෂ්ට කිරීමට යාමේ ප්‍රතිඵලයක් ලෙස ඉස්ලාම් නීතිය තුළ දරුකමට හදාගැනීම තහනම් වී තිබේ.

තවත් මෙබදු ම විස්මිත සිද්ධියක් විමසමු.
නබිතුමා සිය භාර්යාවන් අතර දවස් බෙදා තිබුණි. හෆ්සාගේ භාර්යාවගේ වාරය පැමිණි විට ඔහු රාජකාරියක් සදහා ඇය ව ඇගේ පියා වන උමර් ඛත්තාබ්ගේ නිවසට යැවී ය. ඇය ඒ සදහා ගිය පසු නබිතුමා ඇගේ වහල් කෙල්ල වූ කොප්ට් ජාතික මරියාට අඩ ගැසූ අතර ඇය සමග ලිංගික සංසර්ගයේ යෙදුණි. පසු කලෙක ඔහුගේ ඊබ්‍රාහිම් නැමති පුතාට උපත දුන් ඇය ලැබී තිබුණේ නජාශි වෙතින් තෑග්ගක් වශයෙනි. දොර අගුලු දමා ඇති බව ආපසු පැමිණි විට හෆ්සා දුටුවේ ය. නබිතුමා සිය කාරිය අවසන් කරන තුරු ඇය වැසූ දොර ඉදිරිපිට අසුන් ගෙන බලා සිටියේ ය. පසුව දහඩිය බේරෙමින් පැමිණෙන නබිතුමා දුටු අතර එතුමා ඒ ආකාරයෙන් සිටිනු දුටු ඇය ඔහුට බැණවදින්නට පටන් ගත්තා ය. "ඔබ මගේ ගෞරවයට සලකන හැටි ද ඔය? මෙයත් එක්ක නිදාගන්න ඕනවට ද බොරු කියලා මගේ ගෙදරින් මාව යැව්වේ? ඊටත් වඩා මාත් එක්ක තියෙන දවසෙදි ම එහෙම කරපු එක!” නබිතුමා හෆ්සාට සංසුන් වන ලෙසත්, ඇය තමාගේ වහලිය නිසා තමාට ඇයව කැප (හලාල්) බවත්, නමුත් ඇගේ සතුට වෙනුවෙන් මරියා ව එතුමා ම එතුමාට හරාම් කරගන්නා බවත් පැවසී ය. නමුත් හෆ්සා යටත් නොවූ අතර නබිතුමා ඇගේ නිවසින් පිට වූ පසු ඇගේත් අයිෂාගේත් කොටස් වෙන්කරන බිත්තියට තට්ටු කර ඇයට සියල්ල ම කීවා ය.

(Published by Entesharat-e Elmiyyeh Eslami Tehran 1377 lunar H. Tafseer and translation into Farsi by Mohammad Kazem Mo’refi, Cited in – Undertanding Muhammmad by Ali Sina )

නමුත් හෆ්සාට වූ මේ පොරොන්දුව කඩකරන ලෙස අල්ලාහ් ඔහුට අණ කළ බව ඔහු පසුව පවසයි.
නබියේ, ඔබ ඔබගේ භාර්යාවන්ගේ තෘප්තිය උදෙසා අල්ලාහ් ඔබට අනුමත කර තබා ඇති (මී පැණි පාවිච්චි කරන්නේ නැතැයි) ඔබ කුමක් නිසා (දිව්රා එය හරාම් යයි) තහනම් කර ගත්තෙහිද? අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය. ඔබගේ දිව්රුමට (එය වෙනස් කර ගැනීමට හැකි) වන්දි ගෙවන ක්‍රමයක් නියත වශයෙන්ම අල්ලාහ් ඔබට නියම කර ඇත්තේය. අල්ලාහ්ම ඔබගේ හාම්පුතාය. ඔහු (සියල්ලන්වම) හොදින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේ ය.

- කුරානය 66: 1-2

එපමණක් නොව සිය සැමියාගේ චපලත්වය ගැන කතාකිරීම ගැන හෆ්සාට හා අයිෂාට අවවාද ද කිරීමට අල්ලාහ් පසුබට නොවේ. පහත වැකි ද තමන්ගේ දෙවියන් පැවසූ බව මුහම්මද් පැවසුවේ ය.
(ඕ, නබිවරයාගේ එම භාර්යාවන් දෙදෙනා) ඔබ දෙදෙනාම (ඔබගේ වැරදි ගැන) අල්ලාහ් දෙසට පසුතැවිලි වී ආරක්ෂා වුවහොත් (නබිවරය ඔබට අගනේය. මන්දයත්) ඔබ දෙදෙනාගේ හෘදයන් (සෘජු මාර්ගයෙන්) ඇල වී ගියේය. එබැවින් ඔබ දෙදෙනාම ඔහුට විරුද්ධව ඒකරාහී වුවහොත් නියත වශයෙන්ම අල්ලාහ්ද, ජිබ්රීල්ද, විශ්වාසවන්තයින්ගෙන් වූ හොද වහලුන්ද ඔහුට උදව්කරුවන් වශයෙන් සිටිනු ඇත. තවද ඉන්පසුව (ඔහුට වෙනත්) මලායිකාවරුන්ද උදව්කරුවන් වශයෙන් සිටිනු ඇත. 

- කුරානය 66: 4

(අපගේ නබිවරයා වන) ඔහු ඔබව තලාක් පවසා (ඈත්) වුවහොත් (ඔබ වෙනුවට) ඔබටත් වඩා උසස් අය වන වැන්දඹුවන් හෝ කන්‍යාවන් හෝ මුස්ලිම්වරුන් වන විශ්වාසය තැබූ, බිය වී කටයුතු කරන, පාපයන්ගෙන් ඈත් වූ, දෙවියන්ව නමදින, උපවාසයේ යෙදෙන කාන්තාවන්ව ඔහුගේ දෙවියන් ඔහුට භාර්යාවන් බවට පත් කර තැබිය හැකිය.

- කුරානය 66: 5
මුහම්මද් සිදුකළ වැරදි ක්‍රියාව ගැන කථාකිරීම ගැන බිරියන්ට අවවාද වැකි කීපයකින් ම කරන දෙවියන් සැමියාගේ චපලත්වයට වචනයකින්වත් තරවටු නොකිරීම පුදුම සහගත ය. මරියා ඔහුට තහනම් නැති බව සැබෑ ය. එහෙත් හෆ්සා ව රවටා ඇය සමග එක්වීම වංචාකාරී චපල ක්‍රියාවකි.

එසේ ම අල්ලාහ් බිරියන් හයදෙනෙකුගේ සීමාව ඔහුට පමණක් බල නොපාන බවත් නබිවරයාට ඕනෑම කාන්තාවන් ගණනක් විවාහ කරගැනීමට අවස්ථාව ලබා දුන් බව ඔහු පැවසුවේ ය.
....(නබියේ)ඔබට (අපි ලබා දෙන) දෙන විශේෂ අයිතිවාසිකමක් වන්නේය. අනිත් විශ්වාසවන්තයින්ට නොව. ඔවුන්ගේ භාර්යාවන්ගේ කාරණාවෙහිද, ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් කාන්තාවන්ගේ කාරණාවෙහිද, අපි ඔවුන් කෙරෙහි නියම කර ඇති නියෝගයන් අපි හොදින් දනිමු. (ඔවුන් ඒවා පිළිපැදිය යුතු ම ය.) ඔබට එවැනි දුෂ්කරතාවන් ඇති නොවනු පිණිස, (එම නියමයන්ගෙන් ඔබව නිදහස් කළෙමු.) 

- කුරානය 33: 50
තමාගේ භාර්යාවන් තමාගේ මරණින් පසු වුවත් කිසිවකු විසින් විවාහ කරගැනීම පාපයක් බව අල්ලාහ් පැවසූ බව ද ඔහු පැවසුවේ ය.
තවද ඔහුගේ භාර්යාවන්ව ඔහුගෙන් පසු කිසි කලෙක ඔබ විවාහ කර ගැනීම වැරදි ය. නියත වශයෙන්ම මෙය අල්ලාහ්ගේ සන්නිධානයෙහි ඉතාමත් ඉමහත් වූ පාපතර ක්‍රියාවකි.

- කුරානය 33: 53
නබිවරයාගේ භාර්යාවන්ට අන් අය සමග ප්‍රසන්න ලෙස කතා නොකරන ලෙස කුරානයේ 33: 32 අණකරයි. ඒ එවිට කිසිවකු ඒ හේතුවෙන් ඔවුන් ගැන ආශාවක් ඇති කර ගත හැකි බැවිනි.

නබිවරයාගේ භාර්යාවන්ට නිවසින් පිටත නොයන ලෙස කුරානයේ 33: 33 වැකිය අණ කරයි. එසේ ම තමාගේ බිරියන් වරදක් කළහොත් ඔවුන්ට දෙන දඩුවම දෙගුණ කරන බව අල්ලාහ් පැවසූ බව ද ඔහු පැවසුවේ ය.
නබිවරයාගේ භාර්යාවෙනි, ඔබගෙන් කවුරුන් හෝ ප්‍රකට අවමන් ගෙන දෙන ක්‍රියාවක් කරන්නෙහු නම්, එයට අයත් දඩුවම ඇයට දෙගුණයක් බවට වැඩි කරනු ලැබේ. මෙය අල්ලාහ්ට ඉතාමත් පහසු දැයකි.

- කුරානය 33: 30
මුහම්මද්ගේ බිරියන් (කදීජා හැර) ඔහුට වඩා බෙහෙවින් ලාබාල යුවතියෝ වූහ. ඔහු වයස 50ක් හෝ වැඩි ව සිටිද්දී ඔහු අවුරුදු 6 සිට 30 දක්වා තරුණියන් සමග විවාහ විය. උනුත් බොහෝදෙනා නාඹර වයස්වල වූහ. සාමාන්‍යයෙන් මහලු මිනිසකුගේ තරුණ භාර්යාවන් අනියම් ඇසුරට පෙළඹීම සුලබ ය. හැරත් මේ බොහෝ කතුන් ඔහු සමග පෙමින් බැදුණෝ නොවූහ. ඔවුන් ඇතමකුගේ සැමියන්, පියවරුන් ඔහු විසින් ඝාතනය කළ විට (මේ ලිපියේ ම වෙනත් තැනක මේ ගැන විස්තර වේ.) විට වෙන කළ හැක්කක් නැති නිසා ය. ඉතින් මෙවැනි පසුබිමක මහලු මිනිසකුට සිය තරුණ බිරියන් ගැන සැක සිතීම පුදුමයක් නොවේ. ඔවුන් ව අනියම් සබදතාවක් ඇතිකරගැනීමෙන් වැළැක්වීමට සීමා පැනවීමත් තේරුම් ගත හැකි ය. නමුත් අපට ඇති ගැටලුව මුහම්මද් වෙනුවෙන් මේ වැඩ සර්වබලධාරී දෙවියන් බාරගත්තේ ඇයි දැයි කියා ය. මීට පෙරත් අල්ලාහ් අනන්ත නබිවරුන් තෝරාගෙන තිබුණි. එහෙත් ඒ කිසිවිටක මෙවැනි අභග්ගයක් නම් උන්වහන්සේට සිද්ධ වුණේ නැත. නබිවරයාගේ පෞද්ගලික ලිංගික අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන්නට වෙන තැනට දෙවියන් පල්ලම් බැස්සේ මුහම්මද් වැනි කෙනකු තෝරාගත්තායින් පසුව බව පෙනේ.

අල්ලාහ්ට සිය නබිවරයාගේ ලිංගික ආශාවන් වෙනුවෙන් පිම්පියකු වන්නට සිදුව ඇති බව වයස 6 දී එතුමා සමග විවාහ වූ අයිෂා (රළි) තුමියට ද පෙනී ගොස් තිබේ.

අයිෂා විසින් දැනුම් දෙන ලදී.

අල්ලාහ්ගේ රසූල්වරයාට තමන්ගේ සිරුර පුදකරන ඒ කාන්තාවන් ව හෙලා දකින මම වනිතාවකට මෙලෙස තමා ව පිරිමියකුට ලබාදිය හැකි දැයි අසන්නට පුරුදු ව සිටියෙමි. නමුත් “(නබියේ) ඔබගේ භාර්යාවන් වන ඔවුන්ගෙන් ඔබ කැමති අයව (කැමති කාලයක් දක්වා) වෙන්කර තැබිය හැකිය. ඔබ කැමති අයව (කැමති කාලයක් දක්වා) ඔබ සමග සිටීමට සැලැස්විය හැකිය. ඔබ වෙන්කර තැබූ අයගෙන් ඔබ කැමති අයවද ඔබ සමග එක්කාසු කර ගත හැතිය. (මේවා ගැන) ඔබ කෙරෙහි කිසිම වරදක් නැත.” (33:51) යන වැකිය අල්ලාහ් පහළ විට ඔබේ දෙවියන් ඔබේ ආශාවන් ඉටුකරදෙන්න දගලන අන්දම මට පෙනෙනවා යැයි මම පැවසුවෙමි.

සහීහ් අල්-බුහාරි, වෙලුම 6, Book of Prophetic Commentary on the Quran, හදීත් අංක 311
මුහම්මද්ගේ දෙවියන් ඔහුගේ ආශාවන් ගැන කරදර වී ඇත්තේ මිනිසකු තමාගේ ම ආශාවන් ගැන කරදරවන පරිද්දෙන් ම ය!

අසරණ (කර) කතුන් විවාහ කරගත්තා ද?

ඛයිබර්හි යුදෙව්වන්ට පහර දීමෙන් අනතුරුව නබිතුමා ගෝත්‍රයේ නායකයකු වූ කිනානා බින් අල් රාබි හිස ගසා මරා දමයි. ඊට පෙර ඔහුගේ පපුව මත ගින්දර අවුලමින් ඔහුට වධ දෙයි. ඒ ඔවුන්ගේ නිධානයක් සගවා ඇති ස්ථානයක් දැනගැනීමට ය. තමන් එවැන්නක් ගැන නොදන්නා බව කිනානා දිගින් දිගට ම පැවසූ අතර අන්තිමේ දී නබිතුමා ඔහු ව මරා දැමුවේ ය. කිනානාගේ රූමත් තරුණ (17 වියැති) බිරිද වූ සෆියා නබිතුමා කලින් වෙනත් මුස්ලිම්වරයකුට දී තිබුණත් ඇය ලස්සන බව දැකීමෙන් පසු ඇය තමාට ම තබා ගනී. මෙය සිදුවී ඇත්තේ ඇගේ සැමියා ව ඝාතනය කළ දින ම ය. (Ishaq, p. 515 ; Bukhari 1.8. 367)
අනාස් පැවසුවේ ය. ඛයිබර්හි දී අල්ලාගත් සිරකරුවන් එක්රැස් කෙරුණි. දියා පැමිණි අතර නබිතුමනි, මට සිරකරුවන්ගෙන් වහල් කෙල්ලක් ලබාදෙන්නැයි පැවසී ය. ගිහින් (ඕනකෙනනෙක්) වහල් කෙල්ලක් (විදියට) අරගන්න යැයි එතුමා පැවසුවේ ය. ඔහු හුයායිගේ දියණිය වූ සෆියා තෝරාගත්තේ ය. නබිතුමා හමුවට පැමිණි මිනිසෙක් ඔබතුමා හුයායිගේ දුවත්, කුරියිෂ්වරුන්ගේ සහ අල් නදිර්වරුන්ගේ නායිකාවත් වූ සෆියා දියාට දුන්නා ද? ඇය වටින්නේ ඔබට ම පමණි යැයි පැවසුවේ ය. නබිතුමා ඇයත් සමග ඔහු ව කැදවාගෙන එන්නැයි පැවසුවේ ය. නබිතුමා ඇය ව නිරීක්ෂණය කළේ ය. සිරකරුවන්ගෙන් වෙනත් කෙනෙක් අරගන්න යැයි එතුමා දියාට පැවසුවේ ය. ඉන්පසු නබිතුමා ඇය ව (වහල් කමින් = යුද්ධයෙන් අල්ලාගන්නා අය වහල්ලු වෙති. වෙනත් ඕනෑම දේපලක් මෙන් ඔවුන් ව විකිණීම ආදිය කිරීමට හැකි ය.) නිදහස් කර විවාහ කර ගත්තේ ය.

සුනන් අබු දාවුද් 2998
එතුමා මේ කාන්තාවන් විවාහ කරගත්තේ ඔවුන්ගේ අසරණකමට පිහිටක් වීමට බව මුස්ලිම්වරු කියති. නමුත් විවාහ වීමට අදහස් කරගෙන සිටි ඇතැම් වැන්දඹු කාන්තාවන් සිතෙන් ඉවත් කළේ ඔවුන්ට දරුවන් සිටි බව, එතරම් ම තරුණ නැති බව, තරුණ වුවත් රූමත් නැති බව අසන්නට ලැබුණු විට ය.

එතුමා සිය ඥාතිසහෝදරියක ම වූ හින්ද් බින්ත් අබු තාලිබ්ට තමා සමග විවාහ වන ලෙස යෝජනා කළේ ය. නමුත් ඇය සතුව දරුවකු සිටින බව දැනගත් විට ඒ අදහස අතහැරියේ ය. (Muhammad ibn Jarir al-Tabari (838–923) was one of the earliest, most prominent and famous Persian historians and exegetes of the Quran, most famous for his Tarikh al-Tabari and Tafsir al-Tabari.) සියාහ් බින්ත් ආමිර් ව විවාහ කරගන්නා ලෙස වෙනත් අයකුගෙන් ඉල්ලා සිටියත් ඇය ලාබාල බව දැනගත් විට ඇය තමාට විවාහ කරගත්තේ ය. (Persian Tabari, Vol. IV, page 1298.) රූප සුන්දරියක වූ සාබා නම් අමිර්ගේ දියණියට ඇගේ පුතු අත මුහම්මද් විවාහ ඇරයුමක් යවයි. ඇය රූමත් වුවත් තරුණ නැතැ යි ඒ අතර කෙනකු පවසයි. මව කැමති බව පවසමින් කොලුවා පැමිණුන විට ඔහු කිසිවක් නොකියා සිටී. (Tabaqat V. 8 p. 157)

ඔහු අසරණ වැන්දඹුවන් විවාහ කරගත්තේ අසරණකම අනුව නම් මේ කරුණු මත ප්‍රතික්ෂේප කරන්නට වුවමනාවක් නැත. එමෙන් ම එතුමා විවාහ කරගත් බොහෝ කාන්තාවන් එතුමාට වඩා ඉතා ම ලාබාල අය විය. ඔහුගේ පරම ආශාව වූයේ ලිංගික වින්දනය යි. ලිංගික වින්දනය වරදක් නොවුණත් ඔහු මේ කාන්තාවන් ඔවුන්ගේ සැමියන් මරා දමා අසරණ තත්ත්වයට පත්කර විවාහ කරගැනීම පහත් ක්‍රියාවකි.

මේ කාන්තාවන් ඔහු සමග විවාහවීමට විරුද්ධ නොවූයේ මන්දැයි ද කෙනකු විමසිය හැකි ය. ඔවුන් ඔහු සමග විවාහ නොවී නම් එවිට ද ඔවුන්ට ඔහුගේ හෝ වෙන යම් මුස්ලිම්වරයකුගේ ලිංගික වහලියක් ලෙස හිදින්නට සිදුවනු ඇත. තමාගේ මව්පියන්, සැමියා මරාදැමූ මිනිසා සමග විවාහ වීම අඩු තරමෙන් ඊට වඩා හොද තත්ත්වයක් ඇතිකරනු ඇතැ යි සෆියා වැනි තරුණියන් කල්පනා කරන්නට ඇත. වහලියකට වඩා නීතිමය අයිතිවාසිකම් බිරියකට හිමි ය. එය කපටි ගෑනු ගතියක් නොව අසරණකම විසින් ඇති කළ තීරණයකි. ඒ තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්නා මිනිසා දූෂකයෙකුගෙන් වෙනස් වන්නේ ද?

යුද සිරකාරියන් දූෂණයට ලක්වීමට ඉඩ හැරියා ද?

අබු සායිද් අල් කුද්රි මෙසේ දැනුම් දෙයි. හුනායින් යුද්ධයේ දී නබිතුමන් විසින් අව්තාස් වෙත බලඇණියක් යවන ලදී. සිය සතුරු හමුදාවට මුහුණ දී ජයග්‍රහණය කළ ඔවුන් සටනින්  ඉතිරි ව සිටි අය ජීවග්‍රහයෙන් ගත්හ. ඔවුන් අතර සිටි කාන්තාවන් සමග ඔවුන්ගේ අන්‍යාගමික ස්වාමිපුරුෂයන් ද සිටි බැවින් ඇතැම් සහාබාවරු එම කාන්තාවන් සමග ලිංගිකව එක් නොවී සිටියහ. එබැවින් ප්‍රඥාවන්ත වූ අල්ලාහ් විසින් ඉද්දාව (මාස් ශුද්ධා තුනක කාලය) සම්පූර්ණ කළ පසු එවැනි ස්ත්‍රීන් ද තහනම් නොවන බව පෙන්වාදෙනු පිණිස මෙම වැකිය පහළ කරන ලදී. එනම් සැමියන් සිටින කාන්තාවන්වද (ඔබට විවාහ කර ගැනීම) තහනම් කර ඇත්තේය. එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් සමග සිදු වූ යුද්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබ ඔබගේ යටතෙහි සිටින (වහල්) ස්ත්‍රීන් හැර
                                                                                                    
                                                                                  -  සුනන් අබුදාවුද් 2155
මෙම හදීසයෙන් සහ කුරානයේ 4:24 වැකියෙන් කියවෙන පරිදි මුස්ලිම්වරුන් සමග ඇති වූ යුද්ධයකින් අල්ලාගත් කාන්තාවන් සමග ඔවුන්ගේ සැමියන් සිටියත් මුස්ලිම් සෙබලුන්ට ලිංගිකව එක්විය හැකි ය. මේ කාන්තාවන් මුස්ලිම්වරුන් විසින් ඔවුන්ගේ ගෝත්‍රයේ අය ව මරාදමා වහලුන් ලෙස  ගත් අයයි. ඔවුන් ඊළග වහල් වෙළදපොළේ දී මුස්ලිම්වරුන්ට අවිආයුධ ගැනීමට විකිණීමට නියමිතව සිටි අයයි. මෙවැනි තත්ත්වයක සිටි කාන්තාවන් පිරිසක් සිය ඥාතීන් මරා දමා තමා සිරභාරයට ගත් සතුරු හමුදාවක් සමග ලිංගිකව එක්වීමට කාන්තාවන් සතුටු සිතින් කැමති වනු ඇතැ යි සිතිය නොහැක. ඒ අනුව මොවුන් දූෂණය වන්නට ඇති බව සිතීම සාධාරණ ය.

පහත දැක්වෙන්නේ මේ ඇසුරු කරන තවත් හදීසයකි.
බුරයිදා මෙසේ දැනුම් දෙයි. නබිතුමන් අලි ව (යුද්ධයෙන් ලැබුණු) කුමූවරුන් ව රැගෙන ඒම පිණිස ඛාලිඩ් වෙත යැවී ය. මට අලි ගැන අප්‍රසන්න හැගීමක් ඇති විය. ඒ ඔහු (කුමුවරුන් අතර සිටි වහල් කෙල්ලක් සමග ලිංගික ව එක්වීමෙන් අනතුරු ව) ස්නානය කරනු දුටු හෙයිනි. ඔබ එය (අලි කළ දෙය) දුටුවා නේදැ යි මම ඛාලිඩ්ගෙන් ඇසීමි. නබිතුමන් වෙත ගියවිට මම මේ ගැන ඔහුට පැවසුවෙමි. ඔබ අලි කළේ වරදක් යැයි සිතනවාදැයි හෙතෙම මගෙන් විමසීය. මම එය එසේ බව පැවසුවෙමි. බුරයිදා, ඔහුට මීට වඩා තව බොහෝ දේ කුමූවරුන්ගෙන් ලැබිය යුතු ව තිබෙද්දීත් ඔබ අලි ව මේ ගැන පිළිකුල් කරනවා දැයි හෙතෙම මගෙන් නැවත වරක් ඇසී ය.
- බුහාරි 4350
යුද්ධයෙන් අල්ලාගත් එක්තරා දැරියක් සමග ලිංගික ව එක්වීම විෂයෙහි මුහම්මද් නබි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමන් ක්‍රියා කළ ආකාරය දැක්වෙන එක්තරා හදීසයක් ද තිබේ. එම හදීසයේ ඉංග්‍රීසි පරිවර්තනය වංචනික ලෙස කර ඇති බැවින් මුල් හදීසය (Bukhari Volume 7: 63: 182) වෙනුවට ඒ පිළිබද ව හිටපු මුස්ලිම්වරයකු ලියූ කෘතියකින් උපුටා දක්වමු.
එක්තරා හදීසයකට අනුව ඔහු බානි ජවුන් නගරය අත්පත් කරගත් පසු ජවුනිය්යාහ් නමැති දැරියක් ඇගේ කිරිමවත් සමග ඔහු වෙත රැගෙන එනු ලැබුවා ය. ඔබ මා සමග එක්වන්න ඕනෑ (give yourself to me) නබිතුමන් ඇයට පැවසුවේ ය. නූතන ව්‍යවහාරයෙන් - මට උඹ එක්ක නිදාගන්න ඕන. කුමරියක් එහෙම නිකම් මිනිහෙකුට තමන් ව දෙනවා ද ? දැරිය පිළිතුරු ලෙස කියා සිටියා ය. මුහම්මද් එවිට ඇයට පහරදෙනු පිණිස සිය අත එසවී ය. මම ඔබෙන් අල්ලාහ්ගේ රැකවරණය අපේක්ෂා කරනවා යැයි දැරිය එවිට බියෙන් කෑ ගැසුවා ය.

මෙය ඇසුණු මුහම්මද් අදහස් කළ දෙය කිරීමෙන් වැළකුණි. ඒ මොහොතේ තමන් ගැන ඇති වූ ලැජ්ජාවෙන් මෘදු වූ ඔහු ඇයට සුදු ලිනන් රෙද්දෙන් කළ ඇදුම් දෙකක් ගෙනැත් දෙන්නැයි කීය. මේ ඇදුම් ඔහු ඇයට තෑගිදෙන්නට සිතාගෙන ගෙනා ඒවා නොවී ය. ඒවා ඔහු ඇගෙන් ම හෝ ඇගේ ගෝත්‍රයේ ම වෙනත් දැරියකගෙන් හෝ සොරාගත් ඒවා ය.

ජවුනිය්යාහ් පැමිණියේ කිරිමවක් සමග ය. ඇය තවමත් නොවැඩුණු දැරියක් ව සිටි බව මෙයින් පෙනේ. තමන් මරන්නට පවා අණ කළ හැකි ව තිබුණු මිනිසකුට ඇය එහෙම නිකම් මිනිහෙකුට කුමරියක් ඇය ව දෙනවද  වැනි ගරුසරු නැති එඩිතර ප්‍රතිචාරයක් දක්වන්නට ඇත්තේ ද ළමාවියේ සිටි ඇයට එහි ප්‍රතිවිපාක ගැන වැටහීමක් නොවූ නිසා ය.

මෙම හදීසයේ ඉංග්‍රීසි පරිවර්තකයා give me yourself යන්න ළගට (in marriage) යනුවෙන් වරහන් තුළ යොදා එක්කර තිබේ. මේ අදහස දෙන වචන මුල් හදීසයේ පෙළ තුළ දක්නට නැත. අරාබි පෙළේ ඇත්තේ හබ්බා නෆ්සිකා ලි යනුවෙනි. හබ්බා යන වචනය විවාහය හැදින්වීමට භාවිත වූවක් නොවේ.

හදීසයේ ඇත්තේ මුහම්මද් ඇයට පහර දෙන්නට සිය අත එසවූයේ ඇය එයින් මෙල්ල වනු පිණිස බව ය.  මුහම්මද්ගේ ක්‍රියාවේ ඇති පහත් ගතිය දකින පරිවර්තකයා පහරදීම සදහා යෙදී ඇති අරාබි වචනය strike යනුවෙන් පරිවර්තනය නොකර pat යනුවෙන් පරිවර්තනය කරයි. යෙදී ඇති අරාබි වචනය අහ්වා යන්නයි. එය පැමිණෙන්නේ හවා යන්නෙනි. එහි අදහස ක්ෂණිකව පහත හෙලීම, වේගයෙන් එල්ල කිරීම මිස තට්ටු කිරීම (patting) නොවේ.

මුහම්මද් තැත් කළේ ඇයට සුරතල් ලෙස තට්ටු කරන්නට නම් ඇය මම ඔබෙන් අල්ලාහ්ගේ රැකවරණය අපේක්ෂා කරනවා යැයි කෑගැසුවේ ඇයි ?

එතුමන්ට ළමුන් කෙරෙහි ලිංගික ආශාවක් තිබුණා ද?

කෞමාරකාමය (pedophilia) ලෙස හැදින්වෙන්නේ වැඩිවියට පත් නොවූ දරුවන් කෙරෙහි පවතින ලිංගික ආකර්ෂණය යි. වැඩිවියට පත් නොවූ (සාමාන්‍ය වයස 13ට අඩු) දරුවකු හෝ දැරියක සම්බන්ධයෙන් සෑහෙන කාලයක් පුරා (අඩු තරමේ මාස 6ක්) ලිංගිකව හැසිරීම සම්බන්ධ ප්‍රබල ලිංගික පරිකල්පනයන්, ආවේගයන් හෝ හැසිරීම් ප්‍රකට කිරීම ලෙස එය නිර්වචනය කර තිබේ.

Diagnostic and Statistical Manual of Mental Disorders හි 5 වැනි සංස්කරණයට (DSM-5) අනුව කෞමාරකාමය ව්‍යාධිමය ලෙස පවතින පුද්ගලයකු පහත ලක්ෂණ පෙන්නුම් කරයි.

  • වැඩිවියට පත් නොවූ (සාමාන්‍ය වයස 13ට අඩු) දරුවකු හෝ දැරියක සම්බන්ධයෙන් සෑහෙන කාලයක් පුරා (අඩු තරමේ මාස 6ක්) ප්‍රබල ලිංගිකව හැසිරීම සම්බන්ධ පරිකල්පනයන්, ආවේගයන් හෝ හැසිරීම් ප්‍රකට කිරීම.
  • මේ ලිංගික අවශ්‍යතාවය ඔහුගේ සමාජ, වෘත්තීය හෝ වෙනත් වැදගත් ක්‍රියාකාරකම් කෙරෙහි සැලකිය යුතු හානියක් කර තිබීම. 
  • ඔහු/ඇය වයස 16ක් වත් විය යුතු අතර දරුවාටදැරියට වඩා වසර 5කින් වත් වැඩිමහලු විය යුතු ය. නමුත් අවුරුදු 12ක 13ක දැරියක සමග ලිංගික සබදතාවයක් පවත්වාගෙන යන නවයොවුන් වියේ අගභාගයේ සිටින තරුණයකු මීට අයත් නොවේ. 
මුහම්මද් නබිතුමන් අයිෂා (රළි) තුමිය විවාහ කරගන්නේ ඇයට වයස අවුරුදු 6 දී ය. වයස 6දී සැලසුම් කළ විවාහය සිදුවන්නේ වයස 9 දී ය. විවාහය සැලසුම් කරන විට එතුමන්ගේ වයස අවුරුදු 54ක් විය. එවක ඇය වැඩිවියට පත් නොවූ දැරියක් විය.
නබිතුමන් ඇය සය වියැති ව සිටිය දී ඇය ව විවාහ කරගත් බවත් ඇය නමහැවිරිදි වූ විට විවාහය එය සම්පූර්ණ කළ බවත් එතැන් පටන් ඇය ඔහුත් සමග (ඔහුගේ මරණය සිදුවන තෙක්) වසර නමයක් වාසය කළ බවත් අයිෂා පැවසුවා ය.
Sahih Bukhari 7:62:64   Sahih Bukhari 7:62:65   Sahih Bukhari 7:62:88

ආයිෂා විසින් දැනුම් දෙන ලදී. මම පල්ලියේ මිදුලේ ක්‍රීඩා කරමින් සිටි ඉතියෝපියානුවන් දෙස බලා සිටින අතරේ නබිතුමන් ඔහුගේ උඩරෙද්දෙන් මා වසාගත්තේ ය. මම ඇතිවනතුරු ම ඒ දසුන දෙස බලා සිටියෙමි. විනෝදයට ආසාකරන (වැඩිවියට නො එලඹුණු) කුඩා දැරියක් කෙතරම් වේලා බලා සිටින්නේ දැයි ඔබ ම සිතා බැලිය යුතු ය.
Sahih Bukhari 7:62:163
එකල විවාහය සදහා අවම වයස් සීමාවක් නොවී ය. අනෙක් අතට පැරණි සමාජවල ළමා විවාහය ද සම්මත දෙයක් විය. මේ නිසා දැරියක් විවාහ කරගැනීම මත ම එතුමන් කෞමාරකාමුකයෙක් ද යන්න නිගමනය කළ නොහැක. එසේ විණි ද යන්න නිගමනය කළ හැක්කේ ළමුන් කෙරෙහි නිරන්තර, තියුණු ලිංගික පරිකල්පනයන්, ආවේගයන්, හැසිරීම් (අඩු තරමේ මාස 6ක කාලයක් තිස්සේ) තිබී ඇති ද යන්න මත ය.
අයිෂා මෙසේ පැවසුවේ ය. මගේ සහෝදර බිරින්දෑවරු උම් සල්මාගේ නිවසේ රැස්ව කථාකරමින් මෙසේ කීහ. ඕ, උම් සල්මා! නබිතුමා අයිෂා ළගට යන දවසට මිනිස්සු තෑගි එවනවා. අපිත් අයිෂා වගේම තෑගිවලට කැමතියි. තෑගි එවනකොට තමන් කා ළග හිටියත් ඒවා එවන්න කියලා මිනිස්සුන්ට කියන්න කියලා ඔයා නබිතුමාට කිව්ව නම් හරි. උම් සල්මා එය නබිතුමාට පැවසූ විට ඔහු ඇය මගහැර ගියේ ය. නබිතුමන් ආපසු පැමිණි විට ද ඇය එය ම පැවසූ අතර එවර ද එතුමන් ඇයව මගහැර ගියේ ය. ඇය තෙවන වරට ද එය ම පැවසූ විට නබිතුමන් මෙසේ කීවේ ය. ඕ, උම් සල්මා! අයිෂා ගැන අහිත හිතලා මා අපහසුවට පත්කරන්න එපා. අල්ලාහ්ගේ නාමෙන්, අයිෂා එක්ක හැර ඔබගෙන් වෙන කිසිවෙක් එක්ක පොරෝනය යටට වෙලා ඉද්දි මට කවදාවත් දිව්‍ය ඥානය (divine inspiration) පැමිණියේ නැහැ.

- බුහාරි 5:57,119
සර්වබලධාරී දෙවියකු සිය නබිවරයාට දිව්‍ය ඥානය ලබාදීම සදහා දැරියක් සමග සැතපෙන පෞද්ගලික අවස්ථාවක් ම තෝරාගැනීම ඉතා අතාර්කික ය. මෙහි දිව්‍යඥානය පැමිණීම යන්නෙන් එතුමන් අදහස් කරන්නට ඇත්තේ තමන් ප්‍රමෝදයට පත් වීම විය හැකි ය. (අරාබි වචනය අපි නොදනිමු. ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත්තේ නම් divine inspiration යනුවෙනි.) සතුටින්, උද්යෝගයෙන් සිටින විට කෙනකුගේ නිර්මාණශීලීත්වය, පවතින දක්ෂතාවය හොදින් ඉස්මතු වේ. ඒ අනුව දිව්‍යඥානය පැමිණීම යනු එතුමා අතිමහත් තෘප්තියට පත්වීම යි. එය සිදු ව ඇත්තේ අයිෂා සමග පොරෝනය යට තුරුල් වී සිටින විට පමණි. ඔහුගේ අනෙක් බිරියන් ද වයස 12, 15, 17, 19, 20 වැනි ලාබාල නාඹර වයස්වල රූමතියෝ වූහ. එහෙත් ඔහු ඔවුන් සමග සිටිද්දීට වඩා අවුරුදු 8ක 9ක දැරියක් සමග සිටිද්දී ප්‍රමෝදයට පත්විය. ඔහුගේ මේ පොරෝනය යට තුරුලු කරගෙන සිටීම කුඩා දැරියක කෙරෙහි ඇති වූ සෙනෙහෙසක් නොවන බවත් එය ලිංගිකමය වූ අනුරාගයක් බවත් පෙනී යයි.  
අයිෂා පැවසී ය.
(මා හට) ඔසප් වන විට නබිතුමන් සහ මම එකම නාන බේසමක නෑමට පුරුදු ව සිටියෙමු. ඔසප් වන විට ඔහු මට ඉසර් රෙද්දක් (නානරෙද්දක්) අදින්නැයි අණ කර මා (එසේ සිටින විට) සුරතල් කිරීමට පුරුදු ව සිටියේ ය. ඉක්තිකාෆ් කරන විට ඔහු ඔහුගේ හිස මා සමීපයට ගෙනෙන අතර ඔසප් වෙමින් සිටිය දී ම මම එය (ඔහුගේ හිස) සෝදමි.
සහීහ් අල්-බුහාරි 299, 300, 301
අයිෂා විසින් දැනුම් දෙන ලදී.

මම ඔසප් වී සිටින විට නබිතුමන් මගේ උකුලේ හිස තබාගෙන කුරානය සජ්ඣායනා කිරීමට පුරුදුව සිටියේ ය.

සහීහ් අල්-බුහාරි 7549  

යුනුස් ඉබ්න් ඉස්හාක් ලියන පරිදි රසූල්වරයා උම්මු අයි ෆාදි ව දුටුවේ ඇය බිළිදියක ව සිටි විට ය. ඔහු ඉදිරියේ දණගාමින් සිටි ඇය ව දුටු ඔහු මෙසේ කීවේ ය. ඇය වැඩුණොත් සහ මම ඒ වනවිටත් ජීවත් ව සිටියොත් මම ඇය ව විවාහ කරගනිමි. (Ibn Ishaq: Suhayli, 2.79 p. 311)  මුස්නද් අහ්මද් හි සදහන් හදීසයක ද මෙලෙස සදහන් වේ. මුහම්මද්තුමා අබ්බාස්ගේ දුව වූ උම් හබීබා ව ඇය කිරිබොන දැරියක ව (ෆාතිම්) සිටි විට දුටු අතර මා ජීවත් ව සිටිද්දී ඇය වැඩිමහත් වුණොත් මම ඇය ව විවාහ කරගනිමි. යි පැවසුවේ ය. (Musnad Ahmad, Number 25636) මේ ළදැරියන් දෙදෙනාගේ වාසනාවට ඔහු ඊට පසු කෙටිකලකින් ම මියගියේ ය. අබ්බාස් වාසය කළේ මක්කාවේ ය. ඒ නිසා මුහම්මද් ඔහුගේ දැරිය දකින්නට ඇත්තේ ඔහු එම නගරය ආක්‍රමණය කළ විට ය. ඒ වනවිට ඔහු වයස 61ක මිනිසෙක් විය. ඒ මහලු වයසේදී ඔහු වසරක් නැතිනම් දෙකක් වයසැති බිළිදියන් ගැන රාගික සිත් ඇතිකරගත්තේ ය. නබිතුමා මේ දැරියන් දෙදෙනා ද විවාහ කරගන්නට අදහස් කරන්නට ඇත්තේ අයිෂා විවාහ කරගත් වයසේ දී ම බව සිතීම සාධාරණ ය. එතුමාට දැරියන් කෙරෙහි විශේෂ ආශාවක් තිබූ බව අයිෂා ප්‍රියතම බිරිය වීමෙනුත්, තවත් දැරියන් ගැන ම එවැනි සිත් පහළ වීමෙනුත් පෙනේ.

අතීතයේ ළමා විවාහ සම්මතයක් වුවත් මෙතරම් වැඩිමහලු අයෙකු වැඩිවිය නොපන් දැරියන් විවාහ කරගත් අවස්ථා තිබේ ද යන්න සැකසහිත ය. ළමා විවාහ සම්මත වුවත් සිදුවූයේ වයස 12ක් 13ක් වන දැරියන් සමග සිදු වූ විවාහ මිස වසර 6ක් වැනි ලාබාල දැරියන් සමග සිදු වූ විවාහ නොවේ. ගාන්ධිතුමා කස්තුරිබායි විවාහ කරගන්නේ ඇයට වයස 13 දී බව සැබෑ ය. නමුත් එතුමන් ද එවිට වයස 15ක පමණ තරුණයෙක් විය. (එම ඉන්දියානු ක්‍රමය හුදු වැඩිහිටියන් විවාහය තීරණය කර තැබීමක් පමණක් විය. ළමුන් දෙදෙනා වැඩිහිටියන් වන තුරු වාසය කරන්නේ අධ්‍යාපනය ලබමින් මව්පියන් සමග ය.) නමුත් නබිතුමා වයස 50කට වැඩි වයසක දී වයස 6ක දැරියක් සමග විවාහ වෙයි. වෙනස එය යි.

අයිෂා සමග මුහම්මද්ගේ විවාහය සහ ඒ ආහ්‍රිත කරුණු ගැන  අලි සිනා ලියූ ලිපියකට යක් පරපුරේ සිංහලයා කළ සිංහල පරිවර්තනයක් මෙතන ඇත. මරියාගේ සිද්ධිය සහ සූරා තහ්රීම් සම්බන්ධව එම අඩවියේ ම ලිපියක් මෙතන ඇත.

No comments:

Post a Comment