මේ ලිපියේ පළමු කොටස සහ දෙවන කොටස මීට පෙර පළවිය.
ආගමික ලියවිල්ලක නූතන සොයාගැනීම් සමග සසදා පෙන්විය හැකි තැනක් තිබීම එය සත්‍ය ආගමක් විය හැකි බවට සාක්ෂියක් බව සැබෑ ය. නමුත් කිසියම් ආගමක එන ආගමික සංකල්පයක් ම - නිදසුන් ලෙස මරණින් මතු සිදුවන දෙය වැන්නක් සෘජු ලෙස ම සාක්ෂි සාධක වලින් සනාථ වී ඇත්නම්? එය ඊට වඩා ප්‍රබල සාධකයක් වන බව නොකිවමනා ය. ඒ ආගම සත්‍යය ද අසත්‍යය ද යන්න ගැන සාකච්ඡා කිරීමටවත් අවශ්‍ය නොවේ. මෙවැනි කරුණු පරීක්ෂණයට ලක් කිරීම කළ නොහැකි යැයි ද එසේ නොහැකි වීම මත ම බැහැර කළ නොහැකි යැයි ද කෙනකු පැවසුවහොත් මම පිළිගනිමි. නමුත් ලොව ආගම් කිහිපයක පමණක් ආගමික ඉගැන්වීමක් එලෙස සනාථ ව තිබේ. ඒ නම් බුදුදහම, ජෛනදහම, හින්දුදහම (සහ සමහර ක්‍රිස්තියානි නිකායන් සහ මුස්ලිම් පිරිසක් වන දෲස්වරුන් ද) පිළිගන්නා පුනර්භවය යි. පහත දැක්වෙන්නේ අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් ලියූ ලිපියකින් ගත් කොටසක පරිවර්තනයකි. මේ ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනයක් ද දිවයින පුවත්පතේ පළ වී තිබේ.
මම කලක් විද්‍යාඥයෙක් වී සිටියෙමි. පසුකලෙක මහාචාර්යවරයකු වූ ස්ටීවන් හෝකින් ලෙස ම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ එම ගොඩනැගිල්ලේ ම හිදිමින් සෛද්ධාන්තික භෞතික විද්‍යාව උගත්තෙමි. ඇතැම් විද්‍යාඥයන් කෙතරම් ලබ්ධිවාදී විය හැකිදැයි එහි දී මගේ අත්දැකීම තුළින් ම දුටු කල්හි මම එම විද්‍යාවෙන් ඉවත් වුණෙමි. ශබ්දකෝෂයට අනුව ලබ්ධිවාදය (dogmatism) යනු ආධානග්‍රාහී ලෙස මතයක නොනැමී එල්ලී සිටීමයි. මෙය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විද්‍යාගර තුළ මා දුටු විද්‍යාව ගැන ම කළ නිර්වචනයකි. සැබෑ විද්‍යාව කුමක් දැයි දැනගැනීමට එහි පීතෘවරයෙක් වන ඉංග්‍රීසි දාර්ශනික ෆ්‍රැන්සිස් බේකන් (1561-1628) කරා ගමන් කළ හැකි ය. ඔහු විද්‍යාවේ ඉදිරි ගමන සිදුවිය යුතු පදනම හදුන්වා දුන්නේ ය. ඒ එහි ප්‍රගමනය සිදුවන්නේ "නිශේධනාත්මක සාධක සොයාගැනීම මත" බවයි. වෙන ලෙසකින් කියනවා නම් කිසියම් ස්වභාවික සංසිද්ධියක් පැහැදිලි කිරීමට යමෙකු න්‍යායක් (theory) ඉදිරිපත් කළ විට අන් අය හැකි පමණින් එය බිදහෙලීමට කටයුතු කළ යුතු ය! එම න්‍යාය අභියෝගාත්මක පරීක්ෂණයන්ට ලක්කරමින් සත්‍යය දැයි විමසිය යුතු ය. එය නිර්දය ප්‍රතිතර්කයන් තුළින් පරීක්ෂාවට ලක් කළ යුතු ය. න්‍යායේ දොසක් මතු වූ කල්හි පමණක් විද්‍යාවේ ඉදිරි ගමන සිදු වේ. එවිට නව සොයාගැනීම පැහැදිලි කිරීමට න්‍යාය යළි හැඩගැස්වීමට හෝ වෙනත් න්‍යායක් නිර්මාණය කිරීමට හෝ සිදු වේ. විද්‍යාවේ මුල් ඓතිහාසික විධික්‍රමය වන මෙය විසින් කිසිවක් සත්‍යයක් ම වන බව පෙන්වීම කළ නොහැකි බව තේරුම්ගෙන තිබිණි. නිශ්චිත ලෙස ම කළ හැකි දෙය යමක් අසත්‍යයක් ම වන බව පෙන්වා දීම පමණි. නමුත් මග වරදා ගත් ඇතැම් විද්‍යාඥයන් පුනරුත්පත්තියක් නැත යන න්‍යායේ තවමත් එල්ලී සිටිති. ඔවුන්ට අනුව ශරීරයේ මරණින් පසු මේ විඥානය තවත් මානව පැවැත්මක් බවට පත්වීමට නොහැක. කෙනකුට මේ න්‍යාය බිදදැමීමට විද්‍යාවට අනුව නම් අවශ්‍ය වන්නේ පුනරුත්පත්තියක් සිදු වූ එක ම එක අවස්ථාවක් සොයාගැනීම පමණි. සොයාගත යුත්තේ එක ම එක අවස්ථාවකි! ඔබ ම දන්නා පරිදි මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් දැනටමත් එවැනි අවස්ථා ගණනාවක් හදුනාගෙන තිබේ. පුනරුත්පත්තියක් නැත යන න්‍යාය බිද දමා හමාර ය. පුනරුත්පත්තිය වූ කලී දැන් විද්‍යාත්මක සත්‍යයකි.මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් වර්ජිනියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ වසර 50ක් කටයුතු කළේ ය. 1957 සිට 1967 දක්වා මනෝවෛද්‍ය විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානියා ලෙසත් 1967 සිට 2001 දක්වා මනෝවෛද්‍ය විද්‍යාව පිළිබද කාර්ල්සන් මහාචාර්ය ධුරයත් 2002 සිට 2007 ඔහුගේ මරණය සිදුවන තෙක් මනෝවෛද්‍ය විද්‍යාව පිළිබද පර්යේෂණ මහාචාර්ය ධුරයත් දැරී ය. රට රටවල සැරිසරමින් වසර 40ක කාලයක් තිස්සේ සිදුකළ ක්ශේත්‍ර පර්යේෂණ තුළින් ළමුන් විසින් පෙරභවය ගැන මතකයන් විස්තර කළ අවස්ථා 3000ක් ගවේෂණය කළේ ය. දරුවන් පෙරභවය ගැන පැවසූ තොරතුරු විශාල වශයෙන් සත්‍ය තොරතුරු සමග සැසදෙන බවත් ඔවුන්ට එම තොරතුරු දැනගත හැකි වෙනත් ක්‍රමයක් (පුවත්පත්/මාධ්‍ය) නොතිබූ බවත් අවස්ථා රැසක දී පෙනී යන ලදී. අවස්ථා බොහොමයක පෙරභවයේ මරණය සිදුවීමේ දී තුවාල සිදු වූ ස්ථානවල ම ඒ හා සමාන ම උපන් ලප පිහිටා තිබුණි. ඇමරිකානු වෛද්‍ය සංගමයේ සගරාව (Journal of the American Medical Association) ස්ටීවන්සන් 1975 දී පළකළ පුනරුත්පත්ති ස්වභාවයේ වාර්තා කෘතිය ගැන සදහන් කරමින් දැඩි පරිශ්‍රමයකින් සිදුකළ හැගුම්බර නොවූ සංග්‍රහගතකිරීමක් ලෙසත් එම සිද්ධි පුනරුත්පත්තිය හැර වෙනත් කිසිදු උපකල්පනයකින් පැහැදිලි කිරීම දුෂ්කර බවත් පවසන ලදී. (King, L. S. (1975). Reincarnation. JAMA, 234, 978.)
කෙසේනමුත් ස්ටීවන්සන්ගේ අධ්‍යයනයේ සත්‍යතාවය පිළිබද විවේචන රැසක් එල්ල විය. ඔහුගේ පරීක්ෂාව නිසි ලෙස සිදු නොවූ බව මෙන් ම දරුවන් හෝ මව්පියන් ඔහු රවටා ඇති බව සමහරු පැවසූහ. විශේෂයෙන් මේ සිද්ධිවලින් රැසක් වෛද්‍යවරයා විසින් ම නිරීක්ෂණය නොවූ අතර ඔහු එම පවුල සොයා පැමිණෙන විට ඒවා සිදු වී කල්ගත වී තිබුණි. ඒ අනුව ඔහුට ඇතැම්විට පවුලේ ඥාතීන් සැපයූ තොරතුරු මත යැපෙන්නට සිදු විය. එමෙන් ම දරුවාගේ පවුල හා මියගිය පුද්ගලයාගේ පවුල අතර හමුවීම් ද සිදු වී තිබුණි. කෙසේනමුත් පෙරභවයේ පවුල හා මේ භවයේ පවුල අතර හමුවීම් සිදු වූ අවස්ථා සහ හමුවීම් සිදු නොවූ අවස්ථා අතර ප්‍රබලතාවය පිළිබද වෙනසක් නැති බව වර්ජිනියා විශ්වවිද්‍යාල වෙබ්අඩවියේ පළකර ඇති පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්නුම් කර තිබේ. ස්ටීවන්සන් මහතා හිස්තැන් පුරවමින් මගපෙන්වනසුලු ප්‍රශ්න ඇසූ බවට සහ ප්‍රමාණවත් කාලයක් ගත නොකළ බවට ඔහුගේ පර්යේෂණ සහකරුවකු ව කටයුතු කළ චෑම්ප් රැන්සම් මහතා චෝදනා කළේ ය. මේ අනුව ඔහුගේ මේ සිද්ධි අධ්‍යයන දහස් ගණන ම සත්‍ය නොවිය හැකි ය. නමුත් මේ සිද්ධි අධ්‍යයන අතර ඉතාමත් ප්‍රවේසමෙන් පරීක්ෂා කරනු ලැබ තහවුරු කරගත් ප්‍රබල සිද්ධි රැසක් ම ඇත. විශේෂයෙන් ම පෙරභවයේ අනතුරකින් මියගිය විට එම තුවාලවලට අනුරූප වූ තුවාල සහිත වූ සහ එම දරුවා අදාල පෙරභව පුද්ගලයා සම්බන්ධ සුවිශේෂී තොරතුරු පැවසූ සහ එම තොරතුරු සත්‍ය බවත් තහවුරු කරගත් විට එවැනි අවස්ථා නොතකා හැරීම අපහසු ය. ඇත්තෙන් ම කිවහොත් නොහැකි ය.
කෙසේනමුත් පසු ව ඔහුගේ ශිෂ්‍යයකු වූ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ ළමා-මනෝවිද්‍යාව පිළිබද මහාචාර්ය ජිම් ටකර් ඇමරිකානු දරුවන් සමබන්ධව මෙවැනි අවස්ථා ගවේෂණය කිරීමේ දී මේ ගැටලු සියල්ල ම පාහේ මගහරවා ගැනීමට සමත් විය. දරුවන් මෙවැනි හැසිරීම් ප්‍රකට කළ මුල් කාලයේ ම මව්පියන් ඔහුට දැනුම් දුන් අතර ඒ අනුව ඔහුට දරුවාගේ හැසිරීම්, ප්‍රකාශ පැහැදිලි ව නිරීක්ෂණයට හැකිවිය. ඔහු දරුවාගේ මව්පියන් දරුවා පවසන කරුණු සම්බන්ධව කලින් දැනුම්වත්ව සිටියා ද යන්න පවා ඔවුන් ව දැඩිලෙස පරීක්ෂාවට ලක් කරමින් සොයාබැලුවේ ය. දරුවාට එම තොරතුරු ලබාගැනීමට තිබූ වෙනත් අවස්ථාවන් ගැන ද සොයාබැලුවේ ය. සිද්ධිය සම්බන්ධ සියලු ම කරුණු නිල වාර්තා ආදියෙන් තහවුරු කරගන්නා ලදී. එසේ ම ජිම් ටකර් බොහෝ අවස්ථාවල පෙරභව අනන්‍යතාවය මව්පියන්ට පෙර සොයාගැනීමට සමත් වූ අතර ඒ අනුව අදාල පුද්ගලයා සමබන්ධ ව ලබාගත් තොරතුරු සම්බන්ධයෙන් පාලිත පරීක්ෂාවන්ට දරුවා ව ලක් කළේ ය. මේ තොරතුරු ඔහු පමණක් දැන සිටි අතර එම තොරතුරු දරුවාගේ මාපියන් හෝ වෙනත් කිසිවකුට ලබා නොදෙන ලදී. නිදසුන් ලෙස ඔහු දරුවා පවසන පුද්ගලයාගේ ඥාතියකුගේ සහ ඥාති නොවන කිසිම සම්බන්ධයක් නැති සාමාන්‍ය පුද්ගලයන්ගේ ඒ සමාන ම ඉරියව් සහිත ඡායාරූප කිහිපයක් පෙන්වා මතකයක් ඇති රූපය තෝරාගන්නා ලෙස පවසන ලදී. සෑම අවස්ථාවක ම මේ දරුවන් පෙරභව පුද්ගලයාට සම්බන්ධ රූපය ම තෝරාගන්නා ලදී. මේ සියල්ල පැවසුවේ ස්ටීවන්සන්ගේ අධ්‍යයන සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විවේචන ටකර්ගේ අධ්‍යයන සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නොහැකි බව පෙන්වා දීමට ය. සිය Return to Life: Extraordinary Cases of Children Who Remember Past Live නම් පොතේ ජිම් ටකර් මෙවැනි සිද්ධි 27ක් පරීක්ෂාවට ලක් කර තිබේ. පහත දැක්වෙන්නේ ආචාර්ය ජේ. ඩී. ලෝන්ග් Why Believe in Rebirth මැයෙන් ලියූ ශාස්ත්‍රීය ලිපියක ස්ටීවන්සන් හා ජිම් ටකර්ගේ අධ්‍යයන ගැන සදහන් කළ කොටසකි. ඔබ පුනරුත්පත්තිය විශ්වාස නොකරන ආගමක් අදහන අයෙක් නම් මේ ඡේදය කියවීමෙන් වළකින්න.
ස්ටීවන්සන්ගේ අධ්‍යයනයේ සත්‍යයතාවය පිළිබද ගැටලු රැසක් තිබේ. එකක් නම් ඔහු විසින් රැස්කරගත් පුනරුත්පත්ති වාර්තා විශාල ප්‍රමාණයක් ඉන්දියාව සහ ගිණිකොනදිග ආසියාව වැනි පුනරුත්පත්තිය පිළිබද විශ්වාසය සංස්කෘතිකව මුල්බැසගත් කලාපවලින් ලබාගැනීම ය. එමෙන් ම ඔහු සිය උපකල්පනය බිදහෙලන සිද්ධි ඇතුළත් කර නැති බවට ද අදහස් ඉදිරිපත් වී තිබේ. එහෙත් පුනර්භවය පිළිබද විශ්වාසය ඉතා විශාල වශයෙන් ප්‍රතික්ෂේප කරන සංස්කෘතියක්, නිදසුන් ලෙස එක්සත් ජනපදය වැනි රටක සිදුවන විට මේ සංසිද්ධිය බැහැර කිරීමට එතරම් පහසු නොවේ. ඔක්ලහෝමාවලින් වාර්තා වූ රයන්ගේ සිද්ධිය ගනිමු. රයන්ගේ මාපියෝ ගතානුගතික එවැන්ජලික කිතුනුවෝ වූහ. මේ ආගමික සම්ප්‍රදාය පුනරුත්පත්තිය මිත්‍යාදෘෂ්ටික සංකල්පයක් ලෙස දැඩි ව ප්‍රතික්ෂේප කරන්නකි. එමෙන් ම මේ පවුල වාසය කළේ ද මෙවැනි සංකල්ප පිළිබද එතරම් විශ්වාසයක් නොතබන හේතුවාදී සිතුම් පැතුම් සහිත ඇමරිකානු සංස්කෘතියේ ය. (කෙසේනමුත් සියලුම ඇමරිකානුවෝ පුනරුත්පත්තිය ප්‍රතික්ෂේප නොකරති. ජනගහණයෙන් 20%ක ප්‍රතිශතයක් මෙය විශ්වාස කරන බව සමීක්ෂණවලින් පෙනේ.) වයස අවුරුදු හතරක් පමණ වන විට "රයන් හොලිවුඩ්හි සිය නිවහනට යාමක් ගැන කියන්නට පටන් ගත්තේ ය. ඔහු සින්ඩි (ඔහුගේ මව) ට තමන්ගේ පවුලේ අය මුණගැසීම සදහා එහි ගෙනයන ලෙස ඇවිටිලි කරන්නටත් හඩා වැටෙන්නටත් පටන් ගත්තේ ය.” මෙය වර්ජිනියා විශ්වවිද්‍යාලයේ ළමුන් පිළිබද මනෝවෛද්‍ය විද්‍යා විශේෂඥයෙක් වන ජිම් ටකර් විසින් ලියන ලද Return to Life පොතේ සදහන් කර තිබේ. රයන්ගේ මවුපියන් රයන් ව ගෙනගියේ ඔහු වෙත ය. සිය ගුරුවරයා වූ ස්ටීවන්සන්ගේ ක්‍රමවේදය මත පිහිටමින් සහ එය වැඩිදියුණු කරමින් ටකර් ද පෙරභවය සිහිවීම ගැන බව පෙනීයන සිද්ධි එක්රැස් කරමින් සිටියේ ය. සිය පෙරභවය ගැන රයන් විසින් පැවසූ සවිස්තර කරුණු එක්කරගනිමින් සහ ඒවා ප්‍රවේසමෙන් ගවේෂණය කරගත් තොරතුරු සමග සැසදීමෙන් රයන් පවසන්නේ හොලිවුඩයේ ස්වර්ණමය යුගයේ ඒජන්තයකු ලෙස රැකියාව කළ මාටි මාටින් නමැත්තකුගේ ජීවිතය සම්බන්ධ තොරතුරු බව ඔහු නිගමනය කළේ ය. නමුත් මොහු කිසිම ප්‍රසිද්ධත්වයක් තිබූ අයෙක් නොවූ මෙන් ම රයන්ගේ පවුලට ද කිසිම සම්බන්ධයක් තිබූ අයෙක් නොවී ය. රයන් නිවැරදිව කියා සිටි තොරතුරු අන්තර්ජාලය ඇතුලු කිසිදු ප්‍රසිද්ධ මාධ්‍යයක ද සදහන් ව නොතිබුණි. එමෙන් ම රයන් කියන ආකාරයේ කෙනකු සිට ඇත්දැයි සොයා බලන තුරු රයන්ගේ පවුලේ කිසිවෙක් හෝ ටකර් හෝ මාටින් පිළිබද කිසිම තොරතුරක් ද අසා නොතිබුණි. මේ සිද්ධියේ වඩාත් ම පුදුම උපදවනසුලු කරුණ එය නොවේ. කිසියම් කෙනකුට වසර 61ක් ජීවත් වන්නට ඉඩ දී දෙවියන්වහන්සේ නැවත ඔහු කුඩා දරුවකු ලෙස ඉපදීමට සලස්වන්නේ මන්දැයි තමාට වටහා ගත නොහැකි බව රයන් වරක් බලාපොරොත්තු සුන් වූ විලාසයකින් කියා සිටියේ ය. මේ දක්වා මාටින්ගේ ජීවිතය ගැන රයන් පැවසූ සෑම කරුණක් ම නිවැරදි බව තහවුරු වී තිබුණි. නමුත් මේ කරුණ පමණක් මාටින්ගේ නිල මරණ සහතිකය සමග සසදා බැලූ විට වැරදි විය. මරණ සහතිකයේ සදහන් පරිදි මාටින් මියගොස් තිබුණේ වයස 59යේ දී ය. කෙසේනමුත් වැඩිදුර පර්යේෂණ සිදුකළ විට මාටින් සැබවින් ම මියගොස් තිබුණේ වයස 61 දී බවත් මරණ සහතිකයේ දෝෂයක් තිබූ බවත් සොයාගැනීමට හැකිවිය. මේ අනුව රයන් සිය පවුලේ කිසිවකු විසින් හමු වී හෝ අසා නොසිටි පුද්ගලයකුගේ ජීවිතය සම්බන්ධ සියලු තොරතුරු නිවැරදිව පැවසුවා පමණක් නොව ඔහු සැපයූ තොරතුරු එම පුද්ගලයාගේ මරණ සහතිකයේ වරදක් නිවැරදි කිරීමට ද හේතුවිය.
නමුත් අවාසනාවකට අපට ටකර්ගේ මුල් කෘතිය කියවිය නොහැකි විය. ඒ එය නොමිලේ බාගැනීමට නොවූ බැවිනි. කෙසේනමුත් ඒ පිළිබද පුවත්පත් වාර්තාවක් මෙතන ඇත. විදෙස් මාධ්‍ය ආයතන කළ වාර්තා වැඩසටහන් ද වීඩියෝ වශයෙන් යූටියුබ් හරහා සොයාගත හැකිවනු ඇත. මෙම පුනරුත්පත්ති වාර්තා තුළ දරුවන් දක්වන චිත්තවේගික බව, පෙරභවයේ අනතුරකින් මියගිය දරුවන් දක්වන පශ්චාත් ව්‍යසන ආතතිය පෙන්වන හැසිරීම් (post traumatic stress disorder), අදාල චරිතය සම්බන්ධ හැකියා, සහ සමාන ලක්ෂණ මේ භවයේ ද පෙන්නුම් කිරීම, පෙරභවයේ මරණය සිදු වූ ආකාරය සම්බන්ධ භීතිකා දක්නට ලැබීම, පෙරභවයේ කළ වෘත්තිය/විෂය සම්බන්ධ දැනුවත්භාවය සහ පැසුණු හැසිරීම වැනි මනෝවිද්‍යාත්මක කරුණු ද මෙහි දී ඉතා ප්‍රබල වේ. කෙසේනමුත් මේ සියල්ල ඔබගේ විශ්වාසයන් වෙනස් කිරීමට හේතු නොවිය හැකි ය. ඒ නිසා ඔබට ම පරීක්ෂා කර බැලීම සදහා ප්‍රබල සහ විශේෂඥයන් විසින් දැඩි ව පරීක්ෂාවට ලක් වූ පුනරුත්පත්ති වාර්තා කීපයක සබැදි පහත දක්වමු. මේ වාර්තා කැරොල් බෝමන් අඩවියෙන් සහ ලන්ඩන්හි මානසික හැකියා පිළිබද පර්යේෂණ සංගමයේ (London Society for Psychical Research) වෙබ්ති අඩවියෙන් ලබාගත් ඒවා ය. මෙම මූලාශ්‍ර ම තෝරාගත්තේ ඒවා ඉතා සාධිකාරී සහ විශ්වසනීය මූලාශ්‍ර බැවිනි. නිදසුන් ලෙස ලන්ඩන්හි මානසික හැකියා පිළිබද පර්යේෂණ සංගමයේ විශ්වකෝෂයේ ලිපි පරිපූර්ණව හා අපක්ෂපාතීව (ඒ පිළිබද ඉදිරිපත් කළ හැකි විකල්ප මත/විවේචන) ද සමගින් දක්වා ඇති අතර ආශ්‍රිත නාමාවලි ද දක්වා තිබේ. ලියැවී ඇත්තේ ක්ශේත්‍රයේ ප්‍රසිද්ධ පර්යේෂකයන් විසිනි. මාධ්‍ය වාර්තා රැසක් මේ කරුණු ගැන තිබුණත් අප දක්වන පිළිගත හැකි මූලාශ්‍ර ඇසුරින් ගවේෂණය කිරීම වඩා සුදුසු ය. ඉහත දැක්වූ වෙබ් අඩවිවල තවත් මෙවැනි වාර්තා රැසක් සොයාගත හැකිවනු ඇත. පහත වාර්තා පරිශීලනය කර නිගමනයකට පැමිණෙන ලෙස ඉල්ලමු.
- The Case of Shanti devi - Carol Bowman, Past Life Therapy by Dr: K. S. Rawat
- Swarnalatha Remembers - Reincarnation Researches.org By Dr. K.S. Rawat
- Sweet Swarnalatha - Carol Bowman, Past Life Therapy - from Ian Stevanson
- Antonia (Case Study Analysis) - Psi Encyclopedia by Stephen E Braude
- James Leininger - Psi Encyclopedia by Stephen E Braude
- Out-of-Body & Near Death Experiences - Psi Encyclopedia හි ලිපි සෙවුම් ප්‍රතිඵලය
- Reincarnation - Psi Encyclopedia හි ලිපි සෙවුම් ප්‍රතිඵලය
No comments:
Post a Comment