Tuesday, January 28, 2020

පුනරුත්පත්තිය විද්‍යාත්මක සත්‍යයක් ද?

මේ ලිපියේ පළමු කොටස සහ දෙවන කොටස මීට පෙර පළවිය.


ආගමික ලියවිල්ලක නූතන සොයාගැනීම් සමග සසදා පෙන්විය හැකි තැනක් තිබීම එය සත්‍ය ආගමක් විය හැකි බවට සාක්ෂියක් බව සැබෑ ය. නමුත් කිසියම් ආගමක එන ආගමික සංකල්පයක් ම - නිදසුන් ලෙස මරණින් මතු සිදුවන දෙය වැන්නක් සෘජු ලෙස ම සාක්ෂි සාධක වලින් සනාථ වී ඇත්නම්? එය ඊට වඩා ප්‍රබල සාධකයක් වන බව නොකිවමනා ය. ඒ ආගම සත්‍යය ද අසත්‍යය ද යන්න ගැන සාකච්ඡා කිරීමටවත් අවශ්‍ය නොවේ. මෙවැනි කරුණු පරීක්ෂණයට ලක් කිරීම කළ නොහැකි යැයි ද එසේ නොහැකි වීම මත ම බැහැර කළ නොහැකි යැයි ද කෙනකු පැවසුවහොත් මම පිළිගනිමි. නමුත් ලොව ආගම් කිහිපයක පමණක් ආගමික ඉගැන්වීමක් එලෙස සනාථ ව තිබේ. ඒ නම් බුදුදහම, ජෛනදහම, හින්දුදහම (සහ සමහර ක්‍රිස්තියානි නිකායන් සහ මුස්ලිම් පිරිසක් වන දෲස්වරුන් ද) පිළිගන්නා පුනර්භවය යි. පහත දැක්වෙන්නේ අජාන් බ්‍රහ්මවංසෝ හිමියන් ලියූ ලිපියකින් ගත් කොටසක පරිවර්තනයකි. මේ ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනයක් ද දිවයින පුවත්පතේ පළ වී තිබේ.
මම කලක් විද්‍යාඥයෙක් වී සිටියෙමි. පසුකලෙක මහාචාර්යවරයකු වූ ස්ටීවන් හෝකින් ලෙස ම කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ එම ගොඩනැගිල්ලේ ම හිදිමින් සෛද්ධාන්තික භෞතික විද්‍යාව උගත්තෙමි. ඇතැම් විද්‍යාඥයන් කෙතරම් ලබ්ධිවාදී විය හැකිදැයි එහි දී මගේ අත්දැකීම තුළින් ම දුටු කල්හි මම එම විද්‍යාවෙන් ඉවත් වුණෙමි. ශබ්දකෝෂයට අනුව ලබ්ධිවාදය (dogmatism) යනු ආධානග්‍රාහී ලෙස මතයක නොනැමී එල්ලී සිටීමයි. මෙය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විද්‍යාගර තුළ මා දුටු විද්‍යාව ගැන ම කළ නිර්වචනයකි. සැබෑ විද්‍යාව කුමක් දැයි දැනගැනීමට එහි පීතෘවරයෙක් වන ඉංග්‍රීසි දාර්ශනික ෆ්‍රැන්සිස් බේකන් (1561-1628) කරා ගමන් කළ හැකි ය. ඔහු විද්‍යාවේ ඉදිරි ගමන සිදුවිය යුතු පදනම හදුන්වා දුන්නේ ය. ඒ එහි ප්‍රගමනය සිදුවන්නේ "නිශේධනාත්මක සාධක සොයාගැනීම මත" බවයි. වෙන ලෙසකින් කියනවා නම් කිසියම් ස්වභාවික සංසිද්ධියක් පැහැදිලි කිරීමට යමෙකු න්‍යායක් (theory) ඉදිරිපත් කළ විට අන් අය හැකි පමණින් එය බිදහෙලීමට කටයුතු කළ යුතු ය! එම න්‍යාය අභියෝගාත්මක පරීක්ෂණයන්ට ලක්කරමින් සත්‍යය දැයි විමසිය යුතු ය. එය නිර්දය ප්‍රතිතර්කයන් තුළින් පරීක්ෂාවට ලක් කළ යුතු ය. න්‍යායේ දොසක් මතු වූ කල්හි පමණක් විද්‍යාවේ ඉදිරි ගමන සිදු වේ. එවිට නව සොයාගැනීම පැහැදිලි කිරීමට න්‍යාය යළි හැඩගැස්වීමට හෝ වෙනත් න්‍යායක් නිර්මාණය කිරීමට හෝ සිදු වේ. විද්‍යාවේ මුල් ඓතිහාසික විධික්‍රමය වන මෙය විසින් කිසිවක් සත්‍යයක් ම වන බව පෙන්වීම කළ නොහැකි බව තේරුම්ගෙන තිබිණි. නිශ්චිත ලෙස ම කළ හැකි දෙය යමක් අසත්‍යයක් ම වන බව පෙන්වා දීම පමණි. නමුත් මග වරදා ගත් ඇතැම් විද්‍යාඥයන් පුනරුත්පත්තියක් නැත යන න්‍යායේ තවමත් එල්ලී සිටිති. ඔවුන්ට අනුව ශරීරයේ මරණින් පසු මේ විඥානය තවත් මානව පැවැත්මක් බවට පත්වීමට නොහැක. කෙනකුට මේ න්‍යාය බිදදැමීමට විද්‍යාවට අනුව නම් අවශ්‍ය වන්නේ පුනරුත්පත්තියක් සිදු වූ එක ම එක අවස්ථාවක් සොයාගැනීම පමණි. සොයාගත යුත්තේ එක ම එක අවස්ථාවකි! ඔබ ම දන්නා පරිදි මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් දැනටමත් එවැනි අවස්ථා ගණනාවක් හදුනාගෙන තිබේ. පුනරුත්පත්තියක් නැත යන න්‍යාය බිද දමා හමාර ය. පුනරුත්පත්තිය වූ කලී දැන් විද්‍යාත්මක සත්‍යයකි.
මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් වර්ජිනියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ වසර 50ක් කටයුතු කළේ ය. 1957 සිට 1967 දක්වා මනෝවෛද්‍ය විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානියා ලෙසත් 1967 සිට 2001 දක්වා මනෝවෛද්‍ය විද්‍යාව පිළිබද කාර්ල්සන් මහාචාර්ය ධුරයත් 2002 සිට 2007 ඔහුගේ මරණය සිදුවන තෙක් මනෝවෛද්‍ය විද්‍යාව පිළිබද පර්යේෂණ මහාචාර්ය ධුරයත් දැරී ය. රට රටවල සැරිසරමින් වසර 40ක කාලයක් තිස්සේ සිදුකළ ක්ශේත්‍ර පර්යේෂණ තුළින් ළමුන් විසින් පෙරභවය ගැන මතකයන් විස්තර කළ අවස්ථා 3000ක් ගවේෂණය කළේ ය. දරුවන් පෙරභවය ගැන පැවසූ තොරතුරු විශාල වශයෙන් සත්‍ය තොරතුරු සමග සැසදෙන බවත් ඔවුන්ට එම තොරතුරු දැනගත හැකි වෙනත් ක්‍රමයක් (පුවත්පත්/මාධ්‍ය) නොතිබූ බවත් අවස්ථා රැසක දී පෙනී යන ලදී. අවස්ථා බොහොමයක පෙරභවයේ මරණය සිදුවීමේ දී තුවාල සිදු වූ ස්ථානවල ම ඒ හා සමාන ම උපන් ලප පිහිටා තිබුණි. ඇමරිකානු වෛද්‍ය සංගමයේ සගරාව (Journal of the American Medical Association) ස්ටීවන්සන් 1975 දී පළකළ පුනරුත්පත්ති ස්වභාවයේ වාර්තා කෘතිය ගැන සදහන් කරමින් දැඩි පරිශ්‍රමයකින් සිදුකළ හැගුම්බර නොවූ සංග්‍රහගතකිරීමක් ලෙසත් එම සිද්ධි පුනරුත්පත්තිය හැර වෙනත් කිසිදු උපකල්පනයකින් පැහැදිලි කිරීම දුෂ්කර බවත් පවසන ලදී. (King, L. S. (1975). Reincarnation. JAMA, 234, 978.)

කෙසේනමුත් ස්ටීවන්සන්ගේ අධ්‍යයනයේ සත්‍යතාවය පිළිබද විවේචන රැසක් එල්ල විය. ඔහුගේ පරීක්ෂාව නිසි ලෙස සිදු නොවූ බව මෙන් ම දරුවන් හෝ මව්පියන් ඔහු රවටා ඇති බව සමහරු පැවසූහ. විශේෂයෙන් මේ සිද්ධිවලින් රැසක් වෛද්‍යවරයා විසින් ම නිරීක්ෂණය නොවූ අතර ඔහු එම පවුල සොයා පැමිණෙන විට ඒවා සිදු වී කල්ගත වී තිබුණි. ඒ අනුව ඔහුට ඇතැම්විට පවුලේ ඥාතීන් සැපයූ තොරතුරු මත යැපෙන්නට සිදු විය. එමෙන් ම දරුවාගේ පවුල හා මියගිය පුද්ගලයාගේ පවුල අතර හමුවීම් ද සිදු වී තිබුණි. කෙසේනමුත් පෙරභවයේ පවුල හා මේ භවයේ පවුල අතර හමුවීම් සිදු වූ අවස්ථා සහ හමුවීම් සිදු නොවූ අවස්ථා අතර ප්‍රබලතාවය පිළිබද වෙනසක් නැති බව වර්ජිනියා විශ්වවිද්‍යාල වෙබ්අඩවියේ පළකර ඇති පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්නුම් කර තිබේ. ස්ටීවන්සන් මහතා හිස්තැන් පුරවමින් මගපෙන්වනසුලු ප්‍රශ්න ඇසූ බවට සහ ප්‍රමාණවත් කාලයක් ගත නොකළ බවට ඔහුගේ පර්යේෂණ සහකරුවකු ව කටයුතු කළ චෑම්ප් රැන්සම් මහතා චෝදනා කළේ ය. මේ අනුව ඔහුගේ මේ සිද්ධි අධ්‍යයන දහස් ගණන ම සත්‍ය නොවිය හැකි ය. නමුත් මේ සිද්ධි අධ්‍යයන අතර ඉතාමත් ප්‍රවේසමෙන් පරීක්ෂා කරනු ලැබ තහවුරු කරගත් ප්‍රබල සිද්ධි රැසක් ම ඇත. විශේෂයෙන් ම පෙරභවයේ අනතුරකින් මියගිය විට එම තුවාලවලට අනුරූප වූ තුවාල සහිත වූ සහ එම දරුවා අදාල පෙරභව පුද්ගලයා සම්බන්ධ සුවිශේෂී තොරතුරු පැවසූ සහ එම තොරතුරු සත්‍ය බවත් තහවුරු කරගත් විට එවැනි අවස්ථා නොතකා හැරීම අපහසු ය. ඇත්තෙන් ම කිවහොත් නොහැකි ය.

කෙසේනමුත් පසු ව ඔහුගේ ශිෂ්‍යයකු වූ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ ළමා-මනෝවිද්‍යාව පිළිබද මහාචාර්ය ජිම් ටකර් ඇමරිකානු දරුවන් සමබන්ධව මෙවැනි අවස්ථා ගවේෂණය කිරීමේ දී මේ ගැටලු සියල්ල ම පාහේ මගහරවා ගැනීමට සමත් විය. දරුවන් මෙවැනි හැසිරීම් ප්‍රකට කළ මුල් කාලයේ ම මව්පියන් ඔහුට දැනුම් දුන් අතර ඒ අනුව ඔහුට දරුවාගේ හැසිරීම්, ප්‍රකාශ පැහැදිලි ව නිරීක්ෂණයට හැකිවිය. ඔහු දරුවාගේ මව්පියන් දරුවා පවසන කරුණු සම්බන්ධව කලින් දැනුම්වත්ව සිටියා ද යන්න පවා ඔවුන් ව දැඩිලෙස පරීක්ෂාවට ලක් කරමින් සොයාබැලුවේ ය. දරුවාට එම තොරතුරු ලබාගැනීමට තිබූ වෙනත් අවස්ථාවන් ගැන ද සොයාබැලුවේ ය. සිද්ධිය සම්බන්ධ සියලු ම කරුණු නිල වාර්තා ආදියෙන් තහවුරු කරගන්නා ලදී. එසේ ම ජිම් ටකර් බොහෝ අවස්ථාවල පෙරභව අනන්‍යතාවය මව්පියන්ට පෙර සොයාගැනීමට සමත් වූ අතර ඒ අනුව අදාල පුද්ගලයා සමබන්ධ ව ලබාගත් තොරතුරු සම්බන්ධයෙන් පාලිත පරීක්ෂාවන්ට දරුවා ව ලක් කළේ ය. මේ තොරතුරු ඔහු පමණක් දැන සිටි අතර එම තොරතුරු දරුවාගේ මාපියන් හෝ වෙනත් කිසිවකුට ලබා නොදෙන ලදී. නිදසුන් ලෙස ඔහු දරුවා පවසන පුද්ගලයාගේ ඥාතියකුගේ සහ ඥාති නොවන කිසිම සම්බන්ධයක් නැති සාමාන්‍ය පුද්ගලයන්ගේ ඒ සමාන ම ඉරියව් සහිත ඡායාරූප කිහිපයක් පෙන්වා මතකයක් ඇති රූපය තෝරාගන්නා ලෙස පවසන ලදී. සෑම අවස්ථාවක ම මේ දරුවන් පෙරභව පුද්ගලයාට සම්බන්ධ රූපය ම තෝරාගන්නා ලදී. මේ සියල්ල පැවසුවේ ස්ටීවන්සන්ගේ අධ්‍යයන සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විවේචන ටකර්ගේ අධ්‍යයන සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නොහැකි බව පෙන්වා දීමට ය. සිය Return to Life: Extraordinary Cases of Children Who Remember Past Live නම් පොතේ ජිම් ටකර් මෙවැනි සිද්ධි 27ක් පරීක්ෂාවට ලක් කර තිබේ. පහත දැක්වෙන්නේ ආචාර්ය ජේ. ඩී. ලෝන්ග් Why Believe in Rebirth මැයෙන් ලියූ ශාස්ත්‍රීය ලිපියක ස්ටීවන්සන් හා ජිම් ටකර්ගේ අධ්‍යයන ගැන සදහන් කළ කොටසකි. ඔබ පුනරුත්පත්තිය විශ්වාස නොකරන ආගමක් අදහන අයෙක් නම් මේ ඡේදය කියවීමෙන් වළකින්න. 

ස්ටීවන්සන්ගේ අධ්‍යයනයේ සත්‍යයතාවය පිළිබද ගැටලු රැසක් තිබේ. එකක් නම් ඔහු විසින් රැස්කරගත් පුනරුත්පත්ති වාර්තා විශාල ප්‍රමාණයක් ඉන්දියාව සහ ගිණිකොනදිග ආසියාව වැනි පුනරුත්පත්තිය පිළිබද විශ්වාසය සංස්කෘතිකව මුල්බැසගත් කලාපවලින් ලබාගැනීම ය. එමෙන් ම ඔහු සිය උපකල්පනය බිදහෙලන සිද්ධි ඇතුළත් කර නැති බවට ද අදහස් ඉදිරිපත් වී තිබේ. එහෙත් පුනර්භවය පිළිබද විශ්වාසය ඉතා විශාල වශයෙන් ප්‍රතික්ෂේප කරන සංස්කෘතියක්, නිදසුන් ලෙස එක්සත් ජනපදය වැනි රටක සිදුවන විට මේ සංසිද්ධිය බැහැර කිරීමට එතරම් පහසු නොවේ. ඔක්ලහෝමාවලින් වාර්තා වූ රයන්ගේ සිද්ධිය ගනිමු. රයන්ගේ මාපියෝ ගතානුගතික එවැන්ජලික කිතුනුවෝ වූහ. මේ ආගමික සම්ප්‍රදාය පුනරුත්පත්තිය මිත්‍යාදෘෂ්ටික සංකල්පයක් ලෙස දැඩි ව ප්‍රතික්ෂේප කරන්නකි. එමෙන් ම මේ පවුල වාසය කළේ ද මෙවැනි සංකල්ප පිළිබද එතරම් විශ්වාසයක් නොතබන හේතුවාදී සිතුම් පැතුම් සහිත ඇමරිකානු සංස්කෘතියේ ය. (කෙසේනමුත් සියලුම ඇමරිකානුවෝ පුනරුත්පත්තිය ප්‍රතික්ෂේප නොකරති. ජනගහණයෙන් 20%ක ප්‍රතිශතයක් මෙය විශ්වාස කරන බව සමීක්ෂණවලින් පෙනේ.) වයස අවුරුදු හතරක් පමණ වන විට "රයන් හොලිවුඩ්හි සිය නිවහනට යාමක් ගැන කියන්නට පටන් ගත්තේ ය. ඔහු සින්ඩි (ඔහුගේ මව) ට තමන්ගේ පවුලේ අය මුණගැසීම සදහා එහි ගෙනයන ලෙස ඇවිටිලි කරන්නටත් හඩා වැටෙන්නටත් පටන් ගත්තේ ය.” මෙය වර්ජිනියා විශ්වවිද්‍යාලයේ ළමුන් පිළිබද මනෝවෛද්‍ය විද්‍යා විශේෂඥයෙක් වන ජිම් ටකර් විසින් ලියන ලද Return to Life පොතේ සදහන් කර තිබේ. රයන්ගේ මවුපියන් රයන් ව ගෙනගියේ ඔහු වෙත ය. සිය ගුරුවරයා වූ ස්ටීවන්සන්ගේ ක්‍රමවේදය මත පිහිටමින් සහ එය වැඩිදියුණු කරමින් ටකර් ද පෙරභවය සිහිවීම ගැන බව පෙනීයන සිද්ධි එක්රැස් කරමින් සිටියේ ය. සිය පෙරභවය ගැන රයන් විසින් පැවසූ සවිස්තර කරුණු එක්කරගනිමින් සහ ඒවා ප්‍රවේසමෙන් ගවේෂණය කරගත් තොරතුරු සමග සැසදීමෙන් රයන් පවසන්නේ හොලිවුඩයේ ස්වර්ණමය යුගයේ ඒජන්තයකු ලෙස රැකියාව කළ මාටි මාටින් නමැත්තකුගේ ජීවිතය සම්බන්ධ තොරතුරු බව ඔහු නිගමනය කළේ ය. නමුත් මොහු කිසිම ප්‍රසිද්ධත්වයක් තිබූ අයෙක් නොවූ මෙන් ම රයන්ගේ පවුලට ද කිසිම සම්බන්ධයක් තිබූ අයෙක් නොවී ය. රයන් නිවැරදිව කියා සිටි තොරතුරු අන්තර්ජාලය ඇතුලු කිසිදු ප්‍රසිද්ධ මාධ්‍යයක ද සදහන් ව නොතිබුණි. එමෙන් ම රයන් කියන ආකාරයේ කෙනකු සිට ඇත්දැයි සොයා බලන තුරු රයන්ගේ පවුලේ කිසිවෙක් හෝ ටකර් හෝ මාටින් පිළිබද කිසිම තොරතුරක් ද අසා නොතිබුණි. මේ සිද්ධියේ වඩාත් ම පුදුම උපදවනසුලු කරුණ එය නොවේ. කිසියම් කෙනකුට වසර 61ක් ජීවත් වන්නට ඉඩ දී දෙවියන්වහන්සේ නැවත ඔහු කුඩා දරුවකු ලෙස ඉපදීමට සලස්වන්නේ මන්දැයි තමාට වටහා ගත නොහැකි බව රයන් වරක් බලාපොරොත්තු සුන් වූ විලාසයකින් කියා සිටියේ ය. මේ දක්වා මාටින්ගේ ජීවිතය ගැන රයන් පැවසූ සෑම කරුණක් ම නිවැරදි බව තහවුරු වී තිබුණි. නමුත් මේ කරුණ පමණක් මාටින්ගේ නිල මරණ සහතිකය සමග සසදා බැලූ විට වැරදි විය. මරණ සහතිකයේ සදහන් පරිදි මාටින් මියගොස් තිබුණේ වයස 59යේ දී ය. කෙසේනමුත් වැඩිදුර පර්යේෂණ සිදුකළ විට මාටින් සැබවින් ම මියගොස් තිබුණේ වයස 61 දී බවත් මරණ සහතිකයේ දෝෂයක් තිබූ බවත් සොයාගැනීමට හැකිවිය. මේ අනුව රයන් සිය පවුලේ කිසිවකු විසින් හමු වී හෝ අසා නොසිටි පුද්ගලයකුගේ ජීවිතය සම්බන්ධ සියලු තොරතුරු නිවැරදිව පැවසුවා පමණක් නොව ඔහු සැපයූ තොරතුරු එම පුද්ගලයාගේ මරණ සහතිකයේ වරදක් නිවැරදි කිරීමට ද හේතුවිය.  
 
නමුත් අවාසනාවකට අපට ටකර්ගේ මුල් කෘතිය කියවිය නොහැකි විය. ඒ එය නොමිලේ බාගැනීමට නොවූ බැවිනි. කෙසේනමුත් ඒ පිළිබද පුවත්පත් වාර්තාවක් මෙතන ඇත. විදෙස් මාධ්‍ය ආයතන කළ වාර්තා වැඩසටහන් ද වීඩියෝ වශයෙන් යූටියුබ් හරහා සොයාගත හැකිවනු ඇත. මෙම පුනරුත්පත්ති වාර්තා තුළ දරුවන් දක්වන චිත්තවේගික බව, පෙරභවයේ අනතුරකින් මියගිය දරුවන් දක්වන පශ්චාත් ව්‍යසන ආතතිය පෙන්වන හැසිරීම් (post traumatic stress disorder), අදාල චරිතය සම්බන්ධ හැකියා, සහ සමාන ලක්ෂණ මේ භවයේ ද පෙන්නුම් කිරීම, පෙරභවයේ මරණය සිදු වූ ආකාරය සම්බන්ධ භීතිකා දක්නට ලැබීම, පෙරභවයේ කළ වෘත්තිය/විෂය සම්බන්ධ දැනුවත්භාවය සහ පැසුණු හැසිරීම වැනි මනෝවිද්‍යාත්මක කරුණු ද මෙහි දී ඉතා ප්‍රබල වේ. කෙසේනමුත් මේ සියල්ල ඔබගේ විශ්වාසයන් වෙනස් කිරීමට හේතු නොවිය හැකි ය. ඒ නිසා ඔබට ම පරීක්ෂා කර බැලීම සදහා ප්‍රබල සහ විශේෂඥයන් විසින් දැඩි ව පරීක්ෂාවට ලක් වූ පුනරුත්පත්ති වාර්තා කීපයක සබැදි පහත දක්වමු. මේ වාර්තා කැරොල් බෝමන් අඩවියෙන් සහ ලන්ඩන්හි මානසික හැකියා පිළිබද පර්යේෂණ සංගමයේ (London Society for Psychical Research) වෙබ්ති අඩවියෙන් ලබාගත් ඒවා ය. මෙම මූලාශ්‍ර ම තෝරාගත්තේ ඒවා ඉතා සාධිකාරී සහ විශ්වසනීය මූලාශ්‍ර බැවිනි. නිදසුන් ලෙස ලන්ඩන්හි මානසික හැකියා පිළිබද පර්යේෂණ සංගමයේ විශ්වකෝෂයේ ලිපි පරිපූර්ණව හා අපක්ෂපාතීව (ඒ පිළිබද ඉදිරිපත් කළ හැකි විකල්ප මත/විවේචන) ද සමගින් දක්වා ඇති අතර ආශ්‍රිත නාමාවලි ද දක්වා තිබේ. ලියැවී ඇත්තේ ක්ශේත්‍රයේ ප්‍රසිද්ධ පර්යේෂකයන් විසිනි. මාධ්‍ය වාර්තා රැසක් මේ කරුණු ගැන තිබුණත් අප දක්වන පිළිගත හැකි මූලාශ්‍ර ඇසුරින් ගවේෂණය කිරීම වඩා සුදුසු ය. ඉහත දැක්වූ වෙබ් අඩවිවල තවත් මෙවැනි වාර්තා රැසක් සොයාගත හැකිවනු ඇත. පහත වාර්තා පරිශීලනය කර නිගමනයකට පැමිණෙන ලෙස ඉල්ලමු.

Sunday, January 12, 2020

කුරානය විද්‍යාව හා බුදුදහම

කුරානයේ සදහන් සුවිශේෂී එළිදරව් දෙකක සහ බුදුන්වහන්සේ චක්‍රාවාට ගැන කර ඇති සදහනක විද්‍යාත්මකබව ගැන විමසුමකි.  

 

ශුක්‍ර තරලය ඉකුත් වන ස්ථානය

(ඈතට) පනිමින් ඉකුත් වන එක් ජල බිදක් මගින්ම උත්පාදනය කරනු ලැබුවේ ය. එය කොදු ඇටවලටද, ඉළ ඇටවලටද මධ්‍යයෙන් ඉකුත් වන්නේය.
කුරානය 86: 6-7 (අබ්දුල් කාදර් මෂූර් මව්ලානා, ඒ. බී. එම්. කලීල් මව්ලවි සහ නසීම් ඉස්මායිල් යන අය විසින් කළ කුරාන් සිංහල පරිවර්තනයෙන්)

අප උත්පාදනය වන්නේ වේගයෙන් විදින සුලු ද්‍රවයකින් බව මින් කියවේ. සිරුරින් ඉකුත් වන උත්පාදනයට හේතුවන ද්‍රවයක් ඇත්නම් ඒ ශුක්‍ර තරලය යි. ඒ අනුව මේ වැකියෙන් කියවෙන්නේ ශුක්‍ර තරලය ගැන විය යුතු ය. මෙහි සදහන් පරිදි එය ඉකුත් වන්නේ කොදු ඇට හා ඉළ ඇට අතර තැනකිනි. එනම් පපුව/පෙනහලු ආශ්‍රිත ප්‍රදේශයෙනි. කුරානයේ ඇති වැකි සැබවින් ම විස්මිත ය. (සැ. යු. මෙහි පරිවර්තකයන් විසින් කිසියම් වරදක් සිදු වී ඇතොත් ඒ ගැන වගකීම අප සතු නොවේ. අප කරන්නේ ඉස්ලාමය සහ අරාබි බස ගැන දැනුමක් නිසැක ව තිබිය යුතු විද්වතුන් විසින් සිය ධර්ම ග්‍රන්ථයේ ඇතැ යි කියන අදහසක විද්‍යාත්මක බව විමසා බැලීම පමණි.)

මෙතැන දී සුවිශේෂී කරුණක් සදහන් කළ යුතු ය. ඒ ක්‍රි. පූ. 5වැනි සියවසේ (ඉස්ලාමයට වසර 1000කට පෙර) සිටි ග්‍රීක වෛද්‍යවරයෙකු වූ හිපොක්‍රටීස් ද මේ අදහසට තරමක් ළංවන වැරදි මතයක් දරා තිබෙන බවයි. හිපොක්‍රටීස්ට අනුව ශුක්‍ර තරලය ශරීරයේ ඇති සියලුම ද්‍රවයන්ගෙන් ඇති වන අතර වකුගඩු සහ වෘෂණ හරහා ශිෂ්ණයට පැමිණීමට පෙර මොලයේ සිට කශේරුකා මිදුළු තුළට ගමන් කරයි.

මෙය කුරානයේ එන මේ ගණයේ ප්‍රාතිහාර්යයන්ගෙන් දෙවැන්න යි. පළමුවැන්න කුරානයේ 23: 12-14 වැකිවල සදහන් වන කලල විකසනයේ අවධි ඒ පිළිවෙළින් ම, එහෙත් ඊට වඩා සවිස්තර ව ක්‍රි. ව. 2 හා 3 වන සියවස්හි සිටි ග්‍රීක වෛද්‍ය ගැලන් පවසා තිබීම ය. එහි ඔහු පවසන මාංශයට පෙර අස්ථි ඇති වන බවට වූ සදොස් කරුණ ද සහිත ව එම අදහස් එ ලෙසින් ම කුරානයේ තිබීම ය. පෙර ලිපියේ පළමු කොටසේ අවසන් උපමාතෘකාව තුළ අප ගැලන්ගේ ප්‍රකාශය සහ කුරාන වැකිය ඔබට ම සසදා බැලීම සදහා ඉදිරිපත් කර තිබේ.

මුලු ජීවිත කාලය ම අකුරු නොදත් පුද්ගලයකු (උම්මි) වශයෙන් සිටි මුහම්මද් නබි සල්ලල්ලාහු අලෙහි වසල්ලම් තුමන්ගේ සිත තුළට, ඔහු ඉපදීමටත් සියවස් කීපයකට පෙර සිටි ග්‍රීක වෛද්‍යවරුන්ගේ වැරදි අදහස් එ ලෙසින් ම රිංගා ගැනීම ප්‍රාතිහාර්යයක් ම මිස වෙන කුමක් ද? ඒ ප්‍රාතිහාර්යය සිදුකළේ අල්ලාහ් තයාලා විසින් නම් ඔහු මෙම සදොස් තැන් නිදොස් කර සිය රසූල්වරයාට පහළ නොකළේ මන්ද?

කෙසේනමුත් ශුක්‍ර තරලය ඉකුත් වන ස්ථානය ගැන පවසන අල් කුරානය මැයෙන් ඉස්ලාම් ඉන්වයිට්ස් අඩවියේ පළ කර තිබෙන ලිපිය ඉහත පළමු වැකිය (86: 6-7) ගැන වෙනස් අර්ථකතනයක් දෙයි. ඔවුන් මෙම කුරාන වැකිය පරිවර්තනය කර ඇත්තේ පහත පරිදි ය.
මිනිසා කුමක් මඟින් නිර්මාණය කර ඇත්තේදැයි අවධානය කරත්වා. වේගයෙන් ඉකුත් වන ද්‍රවයකින් නිර්මාණය කරනු ලැබුවේය. එය කොඳු නාරටිය හා පාද අස්ථි මාධ්‍යයෙන් ඉකුත් වන්නේය [අල් කුරාන් පරිච්ඡේදය අත් තාරික්(86):5-7]
සිය පරිවර්තනය පිළිබද ඔවුන්ගේ ම අදහස මෙබදු ය.

මෙම කුරාන් වැකියේ කොඳු නාරටිය ලෙස පරිවර්තනය කර ඇත්තේ “සුල්බ්” (sulb) නම් අරාබි වචනයයි. පාද අස්ථිය ලෙස පරිවර්තනය කර ඇත්තේ “තරාඉබ්” (tharaaib) නම් අරාබි වචනයයි. “තරාඉබ්” නම් වචනය විවිධ ආකාරයෙන් පරිවර්තනය කරන්න පුළුවන් [3]. එම පරිවර්තන අතුරින් අප තෝරාගෙන තිබෙන්නේ පාද අස්ථිය නම් පරිවර්තනයයි.


කලින් ලිපියේ කුරානයේ කිසියම් කරුණක් විද්‍යාත්මක එළිදරව්වක් වීමට සැපිරිය යුතු බවට නිර්ණායක 5ක් ගැන අපි සදහන් කළෙමු. එහි තුන්වන කරුණ වූයේ පහත නිර්ණායකය යි.

එය නිසැක භාෂාවක් භාවිතයෙන් පැවසී තිබිය යුතු ය. කිසියම් ප්‍රකාශයකට වෙනත් අරුත් ද දිය හැකි පරිද්දෙන් උභයාවේගී භාෂාවක් භාවිත වී ඇත්නම් හෝ අර්ථය නිසි පරිදි සිතාගත නොහැකි දාර්ශනික වැකියක් නම් එය කුරානයේ විද්‍යාත්මක කරුණක් ලෙස සැලකිය නොහැක. අපේක්ෂා කරන ලද්දේ විද්‍යාත්මක අරුත ද වෙනත් අරුත ද යන්න නිසැක ව නොදන්නා බැවිනි. විද්‍යාත්මක අරුත තිබීම අහම්බයක් වීමට ද හැකි ය.



තරායිබ් යන වචනය විවිධ ආකාරයෙන් පරිවර්තනය කළ හැකි බව ලේන්ගේ ශබ්දකෝෂය මූලාශ්‍ර වශයෙන් දක්වමින් සදහන් කරන ඔවුන්, තමන් තෝරාගත්තේ පාද අස්ථිය යන අරුත බව පවසයි. අල්ලාහ් තයාලා අදහස් කළේ එම අරුත ම ද යන්න අපි නොදනිමු. වෙන ලෙසකින් කියනවා නම් අප ඉහත සදහන් කළ නිර්ණායක සැපිරී නැත. මේ අරුත සපයා ගත හැකි වීම අහම්බයක් වීමට ද හැකි ය. විශේෂයෙන් ම අරාබි භාෂාවේ එක් වචනයකට දිය හැකි විවිධ අරුත් ප්‍රමාණය අධික ය.

මොවුන් තරායිබ් යන වචනයට පාද අස්ථිය යන අර්ථය තෝරාගත්තත් යුසුෆ් අලි, මාමඩුක් පික්තල්, ශකීර්, සර්වාර්, රෂඩ් කලීෆා, හිලාලි/ඛාන්, මාලික්, මවුලානා අලි ඇතුලු කිසිදු ඉස්ලාමීය වියතකු මේ වැකිය පරිවර්තනය කිරීමේ දී එම අර්ථය යොදා නැත. අභ්‍යයන්තර ඉන්ද්‍රියයන් යනුවෙන් එය පරිවර්තනය කරන කලීෆා හැරුණු විට නම් සදහන් කළ සෑම පරිවර්තකයෙක් ම තරායිබ් යන වචනයට තෝරාගෙන ඇත්තේ ඉළ ඇට යන අර්ථය යි. දැනට ඉහළ ම පිළිගැනීමකින් සැලකෙන මෙම කුරාන පරිවර්තනවල ඇති මතය පිළිගැනීමට අපි වඩාත් බැදී සිටිමු. මේ වියතුන් ඉස්ලාම් ධර්මයත්, කුරානීය අරාබි බසත් ගැන විශිෂ්ට ගණයේ ප්‍රාමාණිකයන් බව අපගේ විශ්වාසයයි. විශේෂයෙන් ම මේ පරිවර්තකයන් ද සිය අර්ථවිවරණවල මේ වැකියට විද්‍යාත්මක අරුත් දීමට උත්සහ කර ඇති බවත් නමුත් ඒ කිසිදු අවස්ථාවක ඔවුන් ඔය කියන අර්ථය දී නැති බවත් පෙන්වා දිය යුතු ය. එවැනි අර්ථයක් දිය හැකි ව තිබුණි නම් ඔවුන් ඉතා සතුටින් එය ඉදිරිපත් කරනවාට සැකයක් නැත.

කුරානය පහළ වූයේ ක්‍රි. ව. 7 වැනි සියවසේ දී ය. එහි දී අල්ලාහ් තයාලා එම යුගයේ ජනතාවට තේරුම් ගත හැකි පරිද්දෙන් එය ඉදිරිපත් කරන්නට ඇත. එහි දී කිසියම් වචනයක් යොදාගන්නට ඇත්තේ එම යුගයේ එම වචනය කෙරෙහි පැවති අරුත අදහස් කරමින් විය යුතු ය. ඒ අනුව කුරානයේ කිසියම් වැකියක වචන සදහා අරුත් කීපයක් දිය හැකි විට අප තෝරා ගත යුත්තේ එම වචනය සදහා ඓතිහාසික ව පිළිගැනුණු අර්ථය යි. සුල්බ් හා තරායිබ් පදවලට අරාබි භාෂාව තුළ පාරම්පරික ව ඇති අර්ථය මුල්කාලීන ඉස්ලාමීය වියතුන්ගේ අර්ථනිරූපණ තුළින් පහසුවෙන් හදුනා ගත හැකිය. 


සුල්බ් යනු පිරිමි ශරීරයේ පපු පෙදෙසත් තරායිබ් යනු ස්ත්‍රීශරීරයේ උඩුකයත් හදුන්වන්නට යෙදෙන අරාබි පද ය. තරායිබ් යනු අරාබි බස තුළ ගැහැනු ශරීරය සම්බන්ධයෙන් පමණක් යෙදෙන පදයකි. ශිෂ්ණය යන වචනය පිරිමියා සම්බන්ධයෙන් යෙදෙනේනේ යම් සේ ද තරායිබ් යන්න යෙදෙනේනේ කාන්තාව සම්බන්ධයෙන් පමණි.  

ඉබ්න් කාතිර් මේ වැකිය ගැන සිය අර්ථවිවරණයේ මෙසේ ලියයි. - “පිරිමියාත් ගැහැනියත් වෙතින් නිකුත් වන දෙය අල්ලාහ්ගේ තැමැත්ත මත එක් ව දරුවකු බවට පත් වේ”“It emanates from the man and the woman, and with Allah’s permission, the child comes forth as a product of both.”
"මෙය පිරිමියාගේ සුල්බ් නම් පෙදෙසත් ගැහැනියගේ තරායිබ්" නම් දෙයත් ගැන සදහන් කරයි යනුවෙන් පවසන ඉබ්න් කාතිර් සහාබාවරයකු වන ඉබ්න් අබ්බාස්ගේ අධිකාරීත්වය මත මේ අර්ථනිරූපණය උපුටා දක්වයි. එමෙන්ධ ම අනෙක් සෑම සම්භාව්‍ය කුරාන අර්ථවිවරණයක ම දී තිබෙන අරුත ද මෙය යි.
පිරිමියාගේ සුල්බ් සහ ගැහැනියගේ තරායිබ් වෙතින් නික්මේ. - තෆ්සීර් අල් ජලාලාන්

පිරිමියාගේ සුල්බ් අතරින් සහ ගැහැනියගේ තරායිබ් වෙතින් නික්මෙන - තන්වීර් අල්-මික්බාස් මින් තෆ්සීර් ඉබ්න් අබ්බාස්
සැබවින් ම තරායිබ් යනු ස්ත්‍රී ශරීරයේ අවයවයක් හැදින්වීමට යෙදෙන පදයක් වන අතර සුල්බ් යනු පිරිමි ශරීරය සම්බන්ධ ව යෙදෙන පදයකි. මේ වසර 1400කට අධික කාලයක් පුරා සෑම ඉස්ලාම් වියතෙක් ම දරා තිබෙන විශ්වාසය මෙය වන අතර මේ පිළිබද ව සහාබාවරුන්ගේ සමයේ සිට අද දක්වා ම වසර 1400ක් තිස්සේ විද්වතුන් අතර එකගත්වයක් (ඉජ්මා) ද පවතී.

ලේන්ගේ ශබ්කෝෂය මෙසේ පවසයි :
තරායිබ්: ... සුවිශේෂී වචන පිළිබද ව ප්‍රාමාණික සෑම කතුවරයකු ම නිශ්චිත කරමින් පවසන්නේ මෙය (තරායිබ්) යනු ස්ත්‍රී ශරීරයට අනන්‍ය ව යෙදෙන පදයක් වන බවයි.  (Lane’s Lexicon, පිටුව 301)
Lane’s Lexicon says:
Tara’ib: … most of the authors on strange words affirm decidedly that it (tara’ib) is peculiar to women. (Lane’s Lexicon, p.301)
මේ සියලු කරුණු සැලකූ විට මුල දී මේ වැකියේ අප දුටු අවිද්‍යාත්මක බව නම් වැරදි බව පෙනී යයි. මෙය ඉළඇට හා කොදුඇටපෙළ අතරින් යනුවෙන් පරිවර්තනය කළ අය මෙන් ම කොදුඇට හා පාදඅස්ථිය යනුවෙන් පරිවර්තනය කළ අය ද වැරදි බව පෙනී යයි. එහෙත් මෙය දැන්වත් අපගේ පරීක්ෂණය තෘප්ත කරන්නේ ද? ගැහැනියගේ හා පිරිමියාගේ පපු පෙදෙස් වෙතින් එක්වන දේ එක් ව දරුවන් උපදින බව කියවේ. ඩිම්බ හා ශුක්‍රාණු පැමිණෙන්නේ පපු පෙදෙස්වලින් ද? නැත. සමහරු මෙයට විද්‍යාත්මක අරුතක් දීමට තැත් කරන්නේ ඩිම්බකෝෂ පපුවට තරමක් ආසන්නව ඇති බව කියමිනි. නැතහොත් ඩිම්බ හා වෘෂණ කෝෂ කළල තුළ පවතින්නේ පපුවට ආසන්නයේ නිසා මෙය නිවැරදි බව කියමිනි. මෙය වැරදි වන්නේ ළදරුවන් දරුවන් බිහි නොකරන නිසා ය. දරුවන් බිහිකිරීමක් ගැන කියන මේ වැකිය කළලවල විකසනය සිත්හි තබාගෙන පැවසිය නොහැක. දරුවන් බිහිකිරීමක් ගැන කියන විට එහි දී අදහස් වන්නේ වැඩිහිටියන්ගේ ශරීර ය.

හැරත් මේ අර්ථනිරූපණය හරි යැයි පිළිගත්තත් දරුවන් බිහි  වීම පිරිමි හා ස්ත්‍රී ජන්මාණු එක් ව සිදුවන දෙයක් බව ක්‍රි. ව. 7වන සියවසේ නොදැන සිටි දෙයකුත් නොවේ.

මඩෙහි ගිලෙන හිරු

ඔහු හිරු බැසයන ස්ථානය වෙත ගිය කල්හි එය මඩ වගුරක ගිලෙමින් සිටිනු දැකගත්තේ ය. ඒ ආසන්නයේ මිනිසුන් ද දැකගත්තේ ය. දුල්කර්නයින්, මොවුන්ට දඩුවම් හෝ කරුණාව ලබාදෙන්න යැයි අපි පැවසුවෙමු. (කුරානය 18:86)

ඔහු හිරු නැගෙන ස්ථානය වෙත ගිය කල්හි, එයින් ආරක්ෂා වීමට කිසිදු රැකවරණයක් අපි විසින් ඇති නොකළ ජනකායක් මතට එය උදාවෙනු දුටුවේ ය. (කුරානය 18:90)
මෙම කුරාන වැකිවලින් කියවෙන පරිදි දුල්කර්නයින් (සමහරුන් පවසන්නේ මෙනමින් හදුන්වා ඇත්තේ ඇලෙක්සැන්ඩර් අධිරාජයා බවයි) හිරු මඩෙහි ගිලී බැස යන සහ නැගෙන තැන් දෙකක් කරා ගමන් කර ඇත. කෙසේනමුත් ඉස්ලාම් වියතුන් පවසන්නේ මින් අදහස් කර ඇත්තේ සැබවින් ම හිරු මඩෙහි ගිලීමක් නොව ඔහුට පෙනී ගිය ආකාරය බවයි. එනම් දුල්කර්නයින් හිරු බසිමින් හා නගෙමින් සිටි අවස්ථාවල එම ස්ථානයන්ට ළගා වූ බවයි. තවත් සමහර වියතුන් පවසන්නේ මෙයින් පැවසෙන්නේ ඔහු බටහිර හා නැගෙනහිර දිශාවලට ගමන් කළ බවත්, හිරුගේ බැසීම හා නැගීම ගැන පවසා ඇත්තේ එම දිශා යන අරුත් දීමට පමණක් බවත් ය. කෙසේනමුත් මේ අර්ථනිරූපණ මෙහි අරාබි පෙළේ වචන භාවිතය සහ කුරානයේ භාෂා භාවිතය සමග පමණක් නොව මෙහි සන්දර්භය සමග ද නොසැසදෙන පෙන්වා දිය යුතු ය.
Hatta itha balagha maghriba alshshamsi wajadaha taghrubu fee AAaynin hami-atin wawajada AAindaha qawman qulna ya tha alqarnayni imma an tuAAaththiba wa-imma an tattakhitha feehim husnan

Hatta itha balagha matliAAa alshshamsi wajadaha tatluAAu AAala qawmin lam najAAal lahum min dooniha sitran
  1. මෙහි යෙදී ඇති අල් මහ්ග්රිබා හා අල් මත්ලිආ යන අරාබි වචන හිරු බසින හා නැගෙන ස්ථානයක් හැගවීමට මෙන් ම එය සිදුවන වේලාවක් හැගවීමට ද භාවිතා වේ.

  2. මෙය හිරු නගින බසින වේලාවන් ගැන පවසන්නේ ය යන්න ප්‍රතික්ෂේප කිරීමට සිදුවන්නේ මෙහි යොදාගෙන ඇත්තේ හිරු නැගීම හා බැසයාම ගැන කියවෙන වෙනත් කුරාන වැකිවල වචන යෙදී ඇති ආකාරය නොවන බැවිනි. 18: 86 සහ 18: 90 වැකිවල අරමුණ හිරු නගින හා බසින අවස්ථා ගැන පැවසීම නම් එයට හත්තා ඉතා ඝරබත් අල්ෂ්ෂම්සි (හිරු බසින තුරු) යනුවෙන් සහ හත්තා ඉතා තලආත් අල්ෂ්ෂම්සු (හිරු උදාවන තුරු) යනුවෙන් 18:17 වැකියට සමාන භාෂාවක් අනුගමනය කළ හැකි ව තිබුණි.  ඔහු ගමන් කළේ ila ghuroobi alshshamsi (හිරුගේ බැසීම වන තුරු) යනුවෙන් සහ ila tulooAAi alshshamsi (හිරුගේ නැගීම වන තුරු) යනුවෙන් 50:39 සහ 20:13 වැකිවලට සමාන භාෂාවක් අනුගමනය කිරීමට ද හැකියාව තිබුණි.

  3. හිරු සදහා යෙදෙන අල්ෂ්ෂම්ස් යන වචනයට 18: 86 සහ 18: 90 වැකිවල එක් ව ඇති ඉ ප්‍රත්‍යය හිරුගේ යන අර්ථය බවට එය පත්කරයි. මහ්ග්රිබ් යන වචනය කුරානය තුළ බටහිර හැදින්වීමට යෙදී ඇති හැමවිට ම එය යෙදී ඇත්තේ අල්ෂ්ෂම්ස් යන්නෙන් තොර ව තනි ව බව පෙනී යයි. හිරුගේ බැසයාම ගැන නොවී දිශාව ගැන පැවසීමට නම් 18:86 හි අල්ෂ්ෂම්සි යන්න එක්කර ඇත්තේ මන්ද? ලේන්ගේ ශබ්දකෝෂය පවසන පරිදි අල් මහ්ග්රිබ් යන්න බටහිර සංකේතවත් කිරීමට මෙන් ම හිරු නගින අවස්ථාව හැගවීමට ද පුලුවන. එහෙත් එහි නියම අරුත හිරු උදාවන ස්ථානය යන්නයි. ලේන්ගේ ශබ්දකෝෂය පවසන පරිදි අල්ෂ්ෂම්සි යන්න එක්කළ විට අරුත එයයි.

  4. 18: 90 වැකියේ යෙදී ඇති MatliAA  යන වචනය අල්ෂ්ෂම්ස් සමග හෝ නැතුව කුරානයේ කිසිදු තැනක පෙරදිග හැදින්වීමට යෙදී නැත. හදීසයන්වලවත් එසේ යෙදී නැත.

  5. 18: 84 වැකිය අනුව අල්ලාහ් දුල්කර්නයින්ට "මින් කුල්ලි ෂයින් සබබන්” (සෑම දෙයක් සදහා ම වරප්‍රසාදයක්) ලබාදෙයි. සබබන් යන වචනය ඊළග වැකියේ ද භාවිත ව තිබේ. "ෆඅත්බාආ සබබන්" (ඔහු ඒ අනුව මාවතක් අනුගමනය කළේ ය) යනුවෙනි. atbaAAa යන්නට මුලින් එක් ව තිබෙන ෆා යන වචනය ඒ අනුව, මෙලෙස වැනි යෙදුමකි. මෙනිසා ඊළග වැකිවලින් පැවසිය යුත්තේ ඒ අනුව ඔහු සුවිශේෂයෙන් අත්විදි වරප්‍රසාදයක් ගැන විය යුතු ය. මේ වරප්‍රසාදය/ගමන්වල අරමුණ කිසියම් ජනකායක් මුණගැසීම යයි කිවහැකි නමුත් මේ වැකි දෙක ම හිරු සම්බන්ධව විශේෂයෙන් අවධානය යොමු කරවයි. ඒ වැකි අරඹෙන්නේ හිරු නැගීම හා බැසීම ගැන අවධානය යොමු කරමිනි. අරමුණ හිරු සම්බන්ධ වූවක් බවත් නමුත් අනපේක්ෂිත අයුරින් ජනතාවක් මුණගැසීම සිදු වූ බවත් එම වැකි හගවයි. හිරු නැගෙන හා බැසෙන අයුරු දැකීමට ඔහු දුරගෙවා ගියේ ය කීම විකාර කතාවකි.  මහ්ග්රිබා යන්න භාවිතා කළේ හිරු බැසයන වේලාවේ ඔහු එතැනට ළගා වූ බව කීමට නම් ඔහු හිරු ගිලෙමින් සිටිනු දුටු බව විශේෂයෙන් පැවසීමට හේතුවක් නැත. නමුත් මෙහි දී එවැනි නොවැදගත් දෙයක් විශේෂයෙන් සදහන් කරයි. හිරු බැසයාම ඕනෑම කෙනකුට ඕනෑම තැනක සිට දැකිය හැකි දෙයකි. මේ පුද්ගලයා දුටුවේ කුමක් දැයි කුරානය වැනි ග්‍රන්ථයක විශේෂයෙන් සදහන් වන්නේ මන්ද?

  6. 92-93 වැකි භාවිතා කරන්නේ 85-86 සහ 89-90 වැකිවල ස්ථානයක් කරා ගමන් කිරීම කීමට භාවිතා වී ඇති වචන ම ය. 18: 92 – 93 වැකි භාවිතා කරන්නේ ද එම එකම ආරම්භක වැකිය ම වීම විශේෂයෙන් සැලකිය යුත්තකි.
Thumma atbaAAa sababan hatta itha balagha…

එවිට ඔහු (තවත්) මාර්ගයක් අනුගමනය කරමින් ගියේ ..... ළගාවන තුරු ය.
ඊළග වචන දෙක වන "බායිනා අල්ස්සද්දයානි" (කදු දෙක අතර) ළගාවූ ස්ථානය පැහැදිලි ව සදහන් කරයි. දුල් කර්නයින්ගේ සෑම ගමනක්  ගැන ම පැවසීමේ දී නැවත නැවත යොදාගන්නේ එකම වාක්‍ය ඛණ්ඩයයි. එම වාක්‍ය ඛණ්ඩය මෙම වැකිවල පමණක් අනික් අවස්ථාවලට වෙනස් ව ඔහු කාලවේලාවක දී ළගාවූයේ ය හෝ කිසියම් වේලාවක දී කිසියම් නිර්නාමික තැනකට ළගාවූයේ ය කීමට යොදා නොගත් බව නිසැක ය. එය ද භාවිත ව ඇත්තේ නිශ්චිත කිසියම් ස්ථානයක් කරා ඔහුගේ පැමිණීම දැක්වීමට ය.
මේ ගැන තවදුරටත් සැක අයකුට ඇලෙක්සැන්ඩර් ලෝකයේ හිරු නගින බසින කෙළවරවල් කරා ගිය බවට වන සිරියානු මිත්‍යා කථාවේත් මෙහිත් සාම්‍යය විමසා බැලිය හැකි ය. එවිට ද පිළිගත නොහැකි මුස්ලිම්වරයකු වෙනුවෙන්දෝ හිරු මඩෙහි ගිලෙන බව මුහම්මද් නබි (සල්) තුමා ම පැහැදිලි කර තිබේ.
අබු ධාර් පැවසී ය: හිරු බැසයන විට මමත් අල්ලාහ්ගේ රසූල්වරයාත් බූරුවකුගේ පිට මත අසුන්ගෙන ගමන් කරමින් සිටියෙමු. මම රසූල්වරයාගේ පිටුපසින් බූරුවා මත අසුන්ගෙන සිටියෙමි. මෙය බැසයන්නේ කොතැනට දැයි ඔබ දන්නවා දැයි ඔහු විමසුවේ ය. අල්ලාත් ඔහුගේ රසූල්වරයාත් වඩාත් හොදින් දන්නේ යැයි මම පැවසුවෙමි. එය උණුසුම් මඩ වගුරක ගිලෙන්නේ යැයි හෙතෙම පැවසී ය.
සුනන් අබුදාවුද් 4002
අබු ධාර් පැවසුවේ ය: නබිතුමා මගෙන් හිරුගේ බැසයාම ගැන විමසුවේ ය. “හිරු (බැසයන විට) යන්නේ කොහි දැයි ඔබ දන්නවා ද?” අල්ලාත් ඔහුගේ රසූල්වරයාත් වඩාත් හොදින් දන්නේ යැයි මම පිළිවදන් දුනිමි. ඔහු මෙසේ පැවසුවේ ය. සිහසුන ඉදිරියට ගොස් නමස්කාර කරන තුරු එය ගමන් කරයි. එය නැවත උදාවීමට අවසරය ඉල්ලයි. එය ලැබේ. එය තමන්ට ම නමස්කාර කරගැනීමට ළංවන අවස්ථාවක් එන මුත් එයට ඉඩ නොලැබේ. එය තමන් යන මාර්ගයෙහි ම දිගට ම යාමට අවසර ඉල්ලයි. එයට ද අවසර නොලැබේ. ඒ වෙනුවට තමන් පැමිණි තැනට ම යළි ගමන් කරන ලෙස අණ ලැබේ. ඒ අනුව එය බටහිර ප්‍රදේශයට උදා වේ. තමන්ගේ සීමාව තුළ ගමන් කරන සූර්යයා ද එක් සාධකයකි. මේවා සියල්ල හොදින් දන්නකු හා බලසම්පන්නයා විසින් නියම කරන ලද දැයයි. (36:38) යන අල්ලාහ්ගේ ප්‍රකාශයේ අර්ථය මෙයයි.
සහීහ් අල් බුහාරි 3199
මෙම හදීසය බුහාරි 6.60.326, බුහාරි 6.60.327, බුහාරි 9.93.528 සහ මුස්ලිම් 1.0297 හි ද සදහන් ව තිබේ.

අමතර කරුණක් වශයෙන් නබිතුමා සූර්යග්‍රහණය වැනි සංසිද්ධියක් වටහා ගත් අන්දම ද දැක්වීමට සිතේ.
අබු මුසා විසින් පවසන ලදී.
සූර්යයා වැසී ගිය අතර අවසන් විනිශ්චය සිදුවන්නට යන්නේ යැයි නබිතුමන් බියවිය. පල්ලියට ගිය ඔහු දීර්ඝ යාඥාවක් කළේ ය.
සහීහ් අල් බුහාරි 1059

මුහම්මද් නබි (සල්) තුමාගේ (සහ කුරානයේ) තාරකා විද්‍යා දැනුම සමග බුදුන්වහන්සේගේ තාරකා විද්‍යා දැනුම සසදා බැලීම වටී.
ආනන්දය, සදහිරුහු බබලමින් යම්තාක් තැන් ඇවිදුනාහු ද, දිශා බුබුලුවත් ද, ඒ තාක් තැන් සහස්‍රීලෝකධාතුයි. ඒ සහස්‍රධාලෝකයෙහි සද දහසෙක් ඇත. හිරු  දහසෙක් ඇත. සුනෙරු පවුරු දහසෙක් ඇත. දඹදිව් දහසෙක් ඇත. අපරගොයාන දහසෙක් ඇත. උතුරුකුරුදිව් දහසෙක් ඇත. පූර්වවිදෙහ දහසෙක් ඇත. මහා-සමුද්‍ර සහස්‍රයෝ සතර දෙනෙක් ඇත. මහාරාජසහස්‍රයෝ සතර දෙනෙක් ඇත. චාතුර්මහාරාජික සහස්‍රයෙක් ඇත. ත්‍රයශිංශත් දෙවලෝක සහස්‍රයෙක් ඇත. යාම දෙවලෝක සහස්‍රයෙක් ඇත. තුෂිත දෙවලෝක සහස්‍රයෙක් ඇත. නිර්මාණරතී දෙවලෝක සහස්‍රයෙක් ඇත. පරනිර්මිත වශවර්තී දෙවලෝක සහස්‍රයෙක් ඇත. නිර්මාණරතී දෙවලෝක සහස්‍රයෙක් ඇත. පරනිර්මිත වශවර්තී දෙවලෝක සහස්‍රයෙක් ඇත. බ්‍රහ්මලෝක සහස්‍රයෙක් ඇත. ආනන්දය, මේ සහස්‍රීචූලනීය ලෝකධාතුය යි කියනු ලැබේ.

අංගුත්තර නිකාය, තිකනිපාතය [3.2.3.10] - සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනය
මෙහි හිරු ගමන් කරන්නේ යැයි කියවෙන සැණින් මෙය පෘථිවිකේන්ද්‍රවාදය යැයි කෙනෙකු වරදවා වටහා ගත හැකි ය. නමුත් මෙහි හිරු ගමන් කරන ප්‍රදේශය සද, හිරු සහ මෙවැනි ලෝක දහසක් ඇති පෙදෙසෙක් ලෙස නම් කර ඇත. එනම් එය සෞරග්‍රහ මණ්ඩල දහසකින් යුතු එකකි. සෞරග්‍රහමණ්ඩලය එවැන්නක් නොවන නිසා මෙහි හිරු ගමන් කරන බවට අදහස් කර ඇත්තේ එය වටා නොවිය යුතු ය. එහෙනම් ඒ කුමක් ද? තාරකා/ග්‍රහමණ්ඩල විශාල ගණනකින් සංයුක්ත වන දෙයක් විශ්වයේ ඇත්නම් ඒ කුමක් ද? ඒ චක්‍රාවාටයයි. අප සම්බන්ධයෙන් නම් අපේ ක්ෂීරපථයයි. දැන් කෙනකු විමසිය හැක්කේ හිරු ක්ෂීරපථය වටා ගමන් කරනවා ය යන මේ අදහස ඇත්තක් දැයි කියා ය. පහත දැක්වෙන්නේ නාසා ආයතනයට සම්බන්ධ වෙබ් අඩවියක ලිපියකින් ගත් කොටසකි.
හිරු සහ එය වටා ගමන් කරන සියල්ල ක්ෂීරපථය නම් මන්දාකිණියේ (Galaxy) පිහිටා ඇත. වඩාත් සවිස්තරව පැවසුවොත් අපේ සූර්යයා පිහිටා ඇත්තේ ක්ෂීරපථය මන්දාකිණියේ සැජිටේරියස් සර්පිල බාහුවට පිටතින් විහිදෙන ඔරියන් නෙරුව (Orian spur) නම් සර්පිල බාහුවෙහි ය. එහි සිට සූර්යයා තමන් වටා ගමන් කරන ග්‍රහලෝක, ඇස්ටෙරොයිඩ, ධූමකේතු සහ වෙනත් වස්තු ද රැගෙන ක්ෂීරපථය මන්දාකිණියේ මධ්‍යය වටා ගමන් කරයි. අපේ සෞරග්‍රහ මණ්ඩලය පැයට සැතපුම් 450, 000ක (පැයට කිලෝමීටර් 720, 000ක) මධ්‍යන්‍ය ප්‍රවේගයකින් මෙසේ ගමන් කරයි. නමුත් මෙවැනි වේගයකින් ගමන් කර වුවත් ක්ෂීරපථය වටා එක වටයක් සම්පූර්ණ කිරීමට එයට වසර මිලියන 230ක් ගත වෙයි.
අප ඒ දැක්වූයේ අමතර කරුණු කීපයක් ද සමගිනි. කෙසේනමුත් හිරු තමන් සිටින මන්දාකිණිය වටා ගමන් කරන්නේ ය යන්න සත්‍යයක් බව ඔබට වැටහෙනු ඇත. සැබවින් ම මේ කරුණ ඇතුළත් සූත්‍රයේ ඉන්පසුව දිගින් දිගට ම විස්තර කරන්නේ ද මෙවැනි සෞරග්‍රහමණ්ඩල විශාල ගණනකින් සැදුම්ලත් චක්‍රාවාට පිළිබද ව ය. චූලනිකා මජ්ඣිමිකා ලෝකධාතුව, චූලනිකා ද්විසහස්සී ලෝකධාතුව, චූලනිකා ත්‍රීසහස්සී ලෝකධාතුව යනාදී ලෙස විශාලත්වය අනුව ඒවා නම්කර තිබේ. සහස්‍රය යනු දහස යන අරුතයි. ඉහත ත්‍රිපිටක උධෘතයේ සෙසු විස්තර මෙබදු ම සෞරග්‍රහමණ්ඩල ඇති බව පෙන්වීමට භාවිතා කළ වචන ය. මෙවැනි ම තවත් ලෝක ඇති බව පෙන්වීමට මේ ලෝකයේ කදු,මහාද්වීප පමණක් නොව රාජ්‍ය ප්‍රධානීන් ගැන පවා එකල තිබූ ඇතැම් සදොස් මත ද එක් ව තිබේ. මෙබදු ම තවත් ලෝක ඇතැ යි බුදුන් පැවසූ විට පසුකාලීන ව එය රචනා කළ අය එය වඩාත් පැහැදිලි කිරීම සදහා එම විස්තර ද යොදන්නට ඇත. නමුත් ක්‍රි. පූ. 5 වන සියවසේ සිටි කිසිවකු හෝ මෙවැනි ග්‍රහ තාරකා දහස් ගණන් වෙන ම පොකුරු ලෙස පවතින බවත් හිරු වැනි තාරකා ඒ වටා ගමන් කරන බවත් පවසා ඇත්නම් ඒ දැනුම ලබාගත් අය සුවිශේෂී ආධ්‍යාත්මික නුවණකට හිමිකම් කියන අය විය යුතු නොවේ ද?

මේ ලිපියේ පළමු කොටසත් බලන්න.

මේ ලිපියේ තුන්වන කොටසත් බලන්න.